නව කොරෝනා වසංගතය නවසීලන්තය තුළ සාර්ථකව පාලනය කිරීමට සමත්ව ලොවටම ආදර්ශයක් සැපයූ නවසීලන්තයේ අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් දෙවැනි වරටත් එරට අග්‍රාමාත්‍යවරිය ලෙස අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.
මූලික ප්‍රතිඵලවලින් පෙනී යන්නේ ආඩර්න්ගේ මධ්‍ය වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බවයි. එයින් අදහස් වන්නේ 1996 දී වත්මන් දේශපාලන ක්‍රමය හඳුන්වා දුන් දින සිට ඕනෑම පක්ෂයක් ලබා ඇති ඉහළම ප්‍රතිඵලය ඇයගේ පක්ෂය ලබා ගන්නා බවකි.
එම ප්‍රතිඵලයට අනුව ඇගේ පක්ෂය පාර්ලිමේන්තු ආසන 120න් 64ක් දිනා ගනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, එය වත්මන් ක්‍රමය යටතේ තනිවම රජයක් පිහිටුවිය හැකි පළමු වැනි දේශපාලන පක්ෂය බවට පත්වීමකි. නවසීලන්තයේ මෙතෙක් සන්ධාන රජයන් පැවති අතර, පසුගිය වසර 24 තුළ කිසිදු පක්ෂයක් බහුතර ඡන්ද ලබාගෙන නොමැත.
"අද රාත්‍රියේ නවසීලන්තය අවම වශයෙන් අවුරුදු 50ක් තුළ ලේබර් පක්ෂයට ලබා දුන් ලොකුම සහයෝගය පෙන්නුම් කර තිබෙනවා" යැයි ආර්ඩේන් සිය ජයග්‍රාහී ගමන ගැන කතා කළේ, වසංගතයේ අභියෝග සමග නවසීලන්තයට ඉදිරි දුෂ්කර කාලයන් වෙත මුහුණ දීමට සිදුවනු ඇති බවද සිහිපත් කරමිනි. "ඒ වගේම සෑම නවසීලන්ත වැසියෙකු වෙනුවෙන්ම අප පෙනී සිටින පක්ෂයක් බව මා ඔබට පවසන්න කැමතියි." ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ප්‍රධාන විපක්ෂය වන ඇය සමග සටනට පැමිණි ජුඩිත් කොලින්ස් හෙවත්, අනෙක් කාන්තා බලය නියෝජනය කළ මධ්‍ය දක්ෂිනාංශික කන්සර්වේටිව් පක්ෂය ආසන 35ක් ලබා ගනිමින් 27%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.