කොවිඩ් -19 සමග සටන් කිරීමට කුමන ඖෂධ ක්‍රියා කරන්නේ දැයි දැනගැනීමට ලෝකය 'සති සිට මාස ගණනක්' දුරින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස් ප්‍රතිචාර කණ්ඩායමේ තාක්ෂණික ප්‍රධානී වෛද්‍ය මාරියා වැන් කෙර්කොව් පවසයි.
ලොව පුරා සැබෑ ලෙසම පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇත්දැයි නිශ්චය කිරීම සඳහා උත්සාහ කරන අධ්‍යයන ගණනාවක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිරීක්ෂණය කරමින් සිටින බව වැන් කෙර්කොව් පෙන්වා දෙයි.
ජර්මනියේ එක් අධ්‍යයනයකට අනුව, කොරෝනා වෛරසය ආසාදනය ඇති බව පෙන්වන ප්‍රතිදේහ ඇති පුද්ගලයින්ගේ සංඛ්‍යාව ජනගහනයෙන් 2% හෝ 3% සිට 14% දක්වා පරාසයක පවතින බව ඇය වැඩිදුරටත් සඳහන් කරයි.
"මෙහි ඇති විශේෂිත කාරණය නම්, මෙහි සීරෝප්රෙවලන්ස් (ජනගහනයක රෝගයක් සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති පිරිස) සංඛ්‍යාවයි. ඉන් පෙන්වන්නේ මේ වෛරසය තවත් බොහෝ සංසරණය වන බවයි. ජනගහනයෙන් වැඩි පිරිසකට දැනටමත් එය ආසාදනය වී ඇති බවයි." වැන් කෙර්කොව් කියයි. "කෙසේ වෙතත් මේ අධ්‍යයනයන් ඇත්ත වශයෙන්ම අපට එය සැබෑ ලෙසම පෙන්වන්නේ නැහැ."
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කෝවිඩ් -19 ඖෂධ අත්හදා බැලීම් සිය ගණනක් සමීපව නිරීක්ෂණය කරමින් සිටියි.
"ලෝකයේ සෑම කෙනෙකුම උනන්දු වන්නේ මොන ඖෂදයද, මොන බෙහෙතද ප්රතිකර්මය වන්නේ, මොන ඖෂධයද මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට ක්‍රියාකරන්නේ යන්න දැන ගැනීමටයි," වැන් කෙර්කොව් පවසයි. "අවාසනාවකට මෙන් මේ වනවිට මේ එකම ඖෂධයක්වත් සාර්ථකව ක්‍රියාත්මක වන බවට කිසිදු සාක්ෂියක් අප සතුව නැහැ."
අධ්‍යයනයන් අඛණ්ඩව සිදුකිරීම හා හොඳින් සිදු කිරීම ඉතා වැදගත් බව වැන් කර්කොව් අවධාරණය කරයි.
"එසේ වුවහොත් සෑම කෙනෙකුටම අවශ්‍ය පිළිතුර අපට ලබා ගත හැකියි" ඇය සඳහන් කරයි. "එහි ප්‍රතිඵල ඉක්මණින් ලැබෙන එකක් නැහැ. නමුත් ක්‍රියාත්මක වන්නේ කුමක් දැයි දැන ලෝකයට දැනගැනීමට 'සති සිට මාස' කිහිපයක් ගතවිය හැකියි."