කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් සමස්ත ලෝකයට මෙන්ම, ලෝක නායකයන්ටද බලපෑම් කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
කැනේඩියානු අගමැති බිරිඳට කොරෝනා
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ බිරිඳ සොෆී ග්‍රෙගෝයර් මෙම වෛරසයට ගොදුරුව ඇති බව පරීක්ෂාවකදී තහවුරුවීමත් සමග ඇය දින 14ක නිරෝධායනයකට යොමුකිරීම මෙහි ප්‍රධානතම සිද්ධියක් වෙයි.
එරට අගමැති කාර්යාලය පවසා සිටියේ, වෛද්‍ය නිර්දේශයන් අනුව, සොෆී ග්‍රෙගෝයර් අද කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කළ බවය. ඒ අනුව පරීක්ෂණය නැවත ධනාත්මක වූ බැවින්, වෛද්‍ය උපදෙස් අනුගමනය කරමින් ඇය දැනට හුදෙකලාව තබා ඇත. ඇය යම් ස්ථාවර මට්ටමක සිටියත්, නිර්දේශිත සියලු පූර්වාරක්ෂණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දැනට ඇය පළ කරන රෝග ලක්ෂණ එතරම් බැරෑරුම් නොවන බවත් අගමැති කාර්යාලය වැඩිදුරටත් පවසයි.
කෙසේ වෙතත් අගමැති කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියේ අගමැති ජස්ටින් ටෘඩෝ හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන බවත්ය. එමෙන්ම ඔහු පරීක්ෂා කිරීමට සැලසුම් නොකරන බවත්, එසේම මෙම යුවළගේ දරුවන්ද රෝග ලක්ෂණ නොපෙන්වන බැවින් නිරෝධායනය නොකරන බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
කැනඩාවේ මේ වනවිට පළාත් 6ක, රෝගීන් 150කට වැඩි පිරිසක් වාර්තා වී ඇති අතර, එම බොහෝ පිරිස් චීනය, ඉරානය, ඉතාලිය හෝ ඊජිප්තුව වෙත සංචාරය කළ අයයි. එසේම මෑතකදී එක්සත් ජනපදයෙන් ආපසු පැමිණි හත් දෙනෙකුද පරීක්ෂා කිරීමේදී වෛරසය ධනාත්මක බව නිගමනය විය.
එරට පල්ලි, ප්‍රජා මධ්‍යස්ථාන, ප්‍රසංග සහ විවිධ ක්‍රීඩා ඉසව් වැනි විශාල පිරිසක් රැස්වන ප්‍රදේශවලට යාමෙන් වළකින ලෙස පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය අමාත්‍ය පැටී හජ්ඩු කැනේඩියානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
ට්‍රම්ප් හමුවූ බ්‍රසීල ජනපති ලේකම්ට කොරෝනා
එක්සත් ජනපදයේ වොෂිංටන් ප්‍රාන්තය ඇතුළු ප්‍රාන්ත කිහිපයක මේ වනවිට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිර යමින් පවතින අතර, ඇමෙරිකාවද මෙම වෛරසය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග රැසක් දැනටමත් ගෙන ඇත.
එහිදී, පසුගියදා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී සමීප සාකච්ඡාවක නිරත වූ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝගේ මාධ්‍ය ලේකම්වරයා නව කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව තහවුරුවීමත් විශේෂ අවස්ථාවකි. කෙසේ වෙතත් මෙසේ ආසාදිතයෙකු සමග සමීප සබඳතාවක් පැවැත්වූවද, ට්‍රම්ප් කොරෝනා වෛරස පරීක්ෂාවට ලක් නොකරන බව ධවල මන්දිරය කියයි.
ජනපතිවරයාගේ ෆ්ලොරීඩා නිවාඩු නිකේතනයේදී ෆේබියෝ වජ්ගාර්ටන් සමග ට්‍රම්ප් මෙසේ සාකච්ඡාවක නිරත වූ අතර, පසුව අදාළ මාධ්‍ය ලේකම්වරයා එක්සත් ජනපදයෙන් පිටතව යළි දිවයනිට පැමිණි පසු ඔහු නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ මගින් තහවුරු විය.
කෙසේ වෙතත් මේ තත්ත්වය තුළ බ්‍රසීල ජනාධිපතිවරයාද වෛරසය සඳහා පරීක්ෂාවකට ලක්කළද ඔහුගේ ශරීරය තුළ වෛරසය නැතත්, බොල්සොනාරෝගේ 65 වන උපන්දිනය වන මාර්තු 21 වැනි දින දක්වා ජනාධිපති මන්දිරයේ රැඳී සිටීමට වෛද්‍යවරු ඔහුට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ දින තුනක සංචාරයක නිරත වූ ජනපති බොල්සොනාරෝ සමග, මාධ්‍ය ලේකම් වජ්ගාර්ටන්ද එක්ව සිටි අතර, පසුගිය සෙනසුරාදා ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවාඩු නිකේතනයේදී ට්‍රම්ප් අසල ඔහු රැඳී සිටින ඡායාරූපද පළ විය. මෙම උත්සවයේ වීඩියෝවකින් ඔහු ජනාධිපතිවරුන් දෙදෙනාම පිටුපසින් සිටගෙන සිටින අයුරුද දැකගත හැකිය. බොල්සොනාරෝ සහ වජ්ගාර්ටන් පසුව කිම්බර්ලි ගිල්ෆොයිල්ගේ උපන්දින සාදයට සහභාගී වූ අතර, ඇය ජනාධිපති පුත් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් සමඟ පෙම් සබඳතාවක් පවත්වන්නියක ලෙසද ප්රකටය.
මේ සියලු සිදුවීම් සමග ඇමෙරිකානු ජනාධිපතිවරයා නව කොරෝනා වෛරසය සම්බන්ධ පරීක්ෂාවට බඳුන් නොවීම ගැන චෝදනා එල්ල වන අතර, ඔහු කියා තිබුණේ මෙම පරීක්ෂාවට මුහුණදීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බවය.
බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 6ක් නිරෝධායනයේ
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමතිනී නාඩින් ඩොරිස් පසුගිය අඟහරුවාදා සවස වෛරසය ආසාදනය වී ඇති බවට පරීක්ෂණ මගින් තහවුරුවීමත් සමග එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුව සිටිති.
එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසා සිටියේ කණිෂ්ඨ සෞඛ්‍ය අමාත්‍ය එඩ්වඩ් ආර්ගර්, කොවිඩ්-19 වයිරසයට එරෙහිව පූර්වාරක්ෂාවක් ලෙස නිවසේ ස්වයං හුදෙකලාවක සිටින ඇමතිවරයෙකු බවයි. ඔහු පාර්ලිමේන්තුවේදී කතා කරමින් සිටියදී කැස්ස තත්ත්වයක් පෙන්නුම් කර තිබුණි. කණිෂ්ඨ අමාත්‍ය ආර්ගාර්, ඩොරිස් සමඟ දිවා ආහාරය ගැනීමෙන් පසු අසනීප වූ බවට ලකුණු පෙන්නුම් කළේය.
එරට කම්කරු පක්ෂයේ මන්ත්‍රී රේචල් මැස්කෙල් බ්‍රහස්පතින්දා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය සතියේ ඩොරීස් හමුවීමෙන් පසු තමාට හුදෙකලා වන ලෙස ඇය පැවසූ බවයි.
එංගලන්තයේ මහජන සෞඛ්‍ය කාර්යාංශයේ උපදෙස් අනුව ඩොරීස්ගේ පාර්ලිමේන්තු කාර්යාලය වසා දමා ඇති අතර, ඇගේ එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුද රෝගාතුර විය. ඩොරීස් කොරෝනා වයිරස් ආසාදනය වූයේ කෙසේද සහ ඇයගෙන් රෝගය පැතිරුණේ කාටද යන්න සොයා ගැනීමට බලධාරීන් දැන් කටයුතු කරමින් සිටියි.
බ්‍රිතාන්‍ය විශේෂඥයන් පවසා සිටියේ මෙම වෛරස් ආසාදනය මේ වනවිට බ්‍රිතාන්‍ය රාජ්‍ය තුළ ඉහළ මට්ටමට පැමිණ ඇති බවය.