කොරෝනා වෛරසය වැළැක්වීම සඳහා තහවුරු නොකළ ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් තමා දැනටමත් පාවිච්චි කරන බවට ට්‍රම්ප් කලින් සිදුකළ ප්‍රකාශයට, ඔහු යළිත් වරක් පොහොර දමමින්, එහි අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් සිදුකළ අධ්‍යයනයන් සියල්ල 'ව්‍යාජ අධ්‍යයනයන්' බව කියා සිටියේය.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (19දා) වොෂිංටන්හි ධවල මන්දිරයේ නැගෙනහිර කාමරයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
එහිදී ට්‍රම්ප් කියා සිටියේ මෙම ඖෂධය පිළිබඳ අධ්‍යයනවලදි ඉතා මහළු රෝගීන්ට හා ඉතා අසාධ්‍ය රෝගීන්ට පමණක් එය ලබාදී ඇති බවයි.
"බොරු අධ්‍යයනයන් කළේ. ඔවුන් මේ ඖෂධය දුන්නේ මහලු අයට හෝ හෘදයා බාධවලින් පෙළෙන අයටයි. ඇත්තටම මිය යෑමට සූදානම් අයට තමයි ඔවුන් ලබා දුන්නේ." ට්‍රම්ප් පැවසුවේය.
ට්‍රම්ප් කෙසේ කීවත් ඇමරිකානු වෛද්‍ය සංගමයේ ජර්නලය පසුගිය සතියේ නව අධ්‍යයනයක් ප්‍රකාශයට පත් කළ අතර එය මෙතෙක් සිදුකෙරුණු විශාලතම අධ්‍යයනයකි. ඉන් පෙන්නුම් කරන්නේ හයිඩ්රොක්සයික්ලෝරොක්වීන් කොවිඩ්-19 ට එරෙහිව ක්‍රියා නොකරන අතර, හෘදයාබාධ ඇතිවිය හැකි බවයි. නව එංගලන්ත වෛද්‍ය සඟරාවේ තවත් අධ්‍යයනයකින්ද ඒ හා සමානම ප්‍රතිඵල පෙන්වා තිබුණු අතර, මීට පෙරදීද මේ සම්බන්ධයෙන් සිදුකෙරුණු බොහෝ පර්යේෂණ හා අධ්‍යයනවලින් කොරෝනා සඳහා මෙම ඖෂධය භාවිත කිරීම ප්‍රතික්ෂේප වී තිබුණි.
නමුත් ට්‍රම්ප් කියා සිටින්නේ මෙම ඖෂධය තමාට කිසිදු බලපෑමක් කරන බවක් නොපෙනෙන බවයි. ඒ වෙනුවට තමා දැනට සති එකහමාරක සිට මෙම ඖෂධය ලබාගන්නා බව ට්‍රම්ප් පෙරේදා පවසා සිටියේය. කිසිදු කොරෝනා රෝගී තත්ත්වයක් හෝ රෝග ලක්ෂණ නොමැති පසුබිමක ඔහු මෙම ඖෂධය ගනිමින් සිටින බව එහිදී සඳහන් විය.
"එය නරක නමක් දිනාගෙන ඇත්තේ මා එය ප්‍රවර්ධනය කිරීම නිසා පමණයි" යනුවෙන් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පැවසීය. "වෙන කවුරුහරි එය ප්‍රවර්ධනය කළේ නම්, ඔවුන් පවසන්නේ එය මෙතෙක් පැවති ශ්‍රේෂ්ඨතම ඖෂධය කියලයි." ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ අධ්‍යයන වාර්තා කරළියට ඒමටත් පෙර අමෙරිකානු ආහාර හා ඖෂධ පාලනාධිකාරිය මෙන්ම, ජාතික සෞඛ්‍ය ආයතන විසින් කොවිඩ්-19 වෛරස් රෝගීන් සඳහා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය භාවිත කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කරන ලදී.