කොවිඩ් -19 සඳහා ප්‍රතිකාරයක් ලෙස හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය නිර්දේශ නොකරන බව ධවල මන්දිරයේ කොරෝනා වෛරස කාර්ය සාධක බලකායේ සාමාජික බ්‍රෙට් ගිරොයර් පවසයි.
"මේ අවස්ථාවෙහිදී මේ සම්බන්ධයෙන් අත්හදා බැලීම් පහක් පමණ සිදුකර තිබෙනවා. ඒවා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ඖෂධය භාවිතයේදී කිසිදු ප්‍රතිඵලයක් පෙන්වා නැහැ. ඒ නිසා මේ මොහොතේදී එම මැලේරියා ඖෂධය කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස අප නිර්දේශ කරන්නේ නැහැ." බ්‍රෙට් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ පවතින මිශ්‍ර පණිවුඩ ගැන අදහස් දක්වමින් බ්‍රෙට් කියා සිටියේ, වෛද්‍යවරුන් කිසිසෙත්ම ට්විටර් හෝ සමාජ ජාලා පරිශීලනයෙන් බෙහෙත් නියම නොකරන අතර, ඔවුන් නියම සාක්ෂි පදනම්ව බෙහෙත් නියම කරන බවත්ය. මෙය තවදුරටත් කතාකළ යුතු දෙයක් නොවන බව පැවසූ බ්‍රෙට්, මීට වඩා ඵලදායී දෙයක් ගැන කතා කරමු යැයිද කියා සිටියේය.
ඒ වෙනුවට මුඛ ආවරණ පැලඳීම සහ දෑත් සේදීම වැනි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග වඩාත් ඵලදායී බව ඔහු අවධාරණය කළේය.
පසුගිය මාර්තු මාසයේදී පමණ ඇමෙරිකානු නායකයා හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් නමැති මැලේරියා ඖෂධය කොවිඩ්-19 සඳහා හොඳ ප්‍රතිකාරයක් බව කියා සිටි අතර, ඔහු අනුව යමින් බ්‍රසීල නායකයා මෙන්ම, මෙම වසංගතය හමුවේ වඩාත් අසරණ වූ නායකයන් සහ දේශපාලඥයන් හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් සරණ යන ආකාරය දැකිය හැකි විය.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්තවලට අනුව මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 4,665,932ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 154,841කි.