කොලොම්බියාවෙන්, ගුවාම් සහ චිලියෙන් ප්‍රථම වරට කොවිඩ්-19 හෙවත් නව කොරෝනා ආසාදිත මරණ වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
චිලියේ 82 හැවිරිදි කාන්තාවක් කොරෝන වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එය එරට වාර්තා වූ ප්‍රථම කොවිඩ්-19 මරණය බව චිලී සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඇය නිදන්ගත රෝග තත්ත්වයන් රැසකින් පීඩා විඳි කාන්තාවක බවද කියයි.
මේ අතර එක්සත් ජනපදයට අයත් දූපත් රාජ්‍යයක් වන ගුවාම් කොවිඩ්-19 ආශ්රිත ප්‍රථම මරණ වාර්තා කර ඇත.
ගුවාම් බලධාරීන් පවසන පරිදි, 68 හැවිරිදි මෙම රෝගියාද නිදන්ගත සෞඛ්‍ය ආබාධ සමග කොරෝනා වෛරසය හේතුවෙන් එම රෝග උත්සන්න වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. විදෙස්ගත සංචාරක ඉතිහාසයක් අත්තෙකුගෙන් ඔහුට රෝගය වැළඳී ඇත. මේ වනවිට රෝගීන් 14ක් ගුවාම් හි හඳුනාගෙන ඇත.
එමෙන්ම කොලොම්බියාව සිය ප්‍රථම කොරෝනා වෛරස් මරණය තහවුරු කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මියගිය පුද්ගලයා 58 හැවිරිදි කුලී රථ රියදුරෙකු වන අතර ඔහු උතුරු කොලොම්බියානු නගරයක් වන කාටජිනා හි ඉතාලි සංචාරකයන් ප්‍රවාහනය කර ඇත. කොලොම්බියාවෙන් ආසාදිතයන් 210ක් හඳුනාගෙන තිබේ.