කොලොම්බියාවේ නිරිතදිග වෙරළට ඔබ්බෙන් කුඩා යාත්රා දෙකක් පෙරළී ගිලී යාමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර, සෙසු පිරිස් බේරාගැනීම සඳහා දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක වන බව පවසයි.
තවත් සැලකිය යුතු පිරිසක් අතුරුදන්ව ඇති අතර, ටුමාකෝ නගරයට ආසන්න පැසිෆික් සාගරයේදී මෙම අනතුර සිදුව තිබේ.
බලධාරීන් පවසන්නේ මෙතෙක් සොයාගත් මළ සිරුරු අවම වශයෙන් ළමයින් හත් දෙනෙකුද ඇතුළත් බවත්, ඔවුන් බොහෝ දෙනෙකු ජීවිතාරක්ෂක කබා හැඳ නොසිටි බවයි.
මෙම යාත්රා මගින් ටුමාකෝ සිට අසල්වැසි නගරයක් වන සැන් ජෝස් ඩෙල් ගුවාබෝ වෙත ජනතාව ප්රවාහනය කර තිබුණි. බලධාරීන් පවසන්නේ බෝට්ටුවල කොපමණ පිරිසක් සිටියාද යන්න පිළිබඳ වාර්තාවක් නොමැති බවයි.
ළමයින් 5 දෙනෙකු ඇතුළු අවම වශයෙන් 35 දෙනෙකු බේරාගැනීමට බලධාරීන්ට හැකිවී ඇති අතර, පුද්ගලයන් 16ක් පමණ තවදුරටත් අතුරුදන් බව ඔවුන් විශ්වාස කරයි.