කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව හැකි ඉක්මනින් විසඳීමට ඊයේ (25දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.
එහිදී සියලු දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කර මෙම ගැටලුව විසඳිය යුතු බවත්, මේ හරහා නැවතත් උතුරු-නැගෙනහිර ගැටුමක් ඇති වීමට ඉඩ නොතිබිය යුතු බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම කැබිනට් අමාත්‍යවරු කීපදෙනෙකුම අදහස් ප්‍රකාශ කර තිබේ.
කල්මුණේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සම්පූර්ණයෙන්ම ස්වාධීන කොට්ඨාසයක් ලෙස පවත්වාගෙන යා යුතු බවට එහිදී ද්‍රවිඩ ජාතික සන්ධානය සිය අදහස් ප්‍රකාශ කර තිබේ.
ඉන් අනතුරුව ඒ සඳහා වෙනමම ගණකාධිකාරවරයෙක් පත්කර ඇති අතර, ඔහු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට රාජකාරී කටයුතු කරමින් සිටියි.
මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල ඇති ගැටලු දැනගැනීම සඳහා ජාතික කමිටුවක්ද පසුගිය අප්‍රේල් මාසයේදී පත්කර තිබේ.
අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව පසුගියදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වූයේ, මෙම ගැටලුව කුමන ලෙස හෝ මාස තුනක කාලයක් ඇතුළතදී අවසන් කරන බවයි.