කිලිනොච්චිය අක්කරායන් පොලිස් වසමේ ස්කන්ධපුරම් ප්රදේශයේ නිවසක් තුළ එක්දරු මවක් ඊයේ (11) රාත්රියේ තියුණු ආයුධයකින් කපා ඝාතනය කොට තිබියදී අද (12) දින එම මළ සිරුර හමුවූ බවට අක්කරායන් පොලීසිය පවසයි.
ඝාතනයට ලක් වූ මවගේ සැමියා ඊයේ රාත්රියේ රාජකාරී වෙනුවෙන් වව්නියාව නගරයට ගොස් අද උදෑසන නැවත නිවසට පැමිණීමේදී සිය බිරිඳ ඝාතනය කොට තිබී දැක ඒ බව පොලීසියට දැනුම් දී ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ 31 හැවිරිදි ඒ. ජෙරාට් මේරි නැමති එක් දරු මවක් වන අතර ඇයට මාස 09ක බිලිඳෙක් සිටින අතර අදාළ ඝාතනය සිදු කල පුද්ගලයින් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගත නොහැකි බවට පොලීසිය පවසයි.
මියගිය මවගේ මළසිරුර මේ වන විට කිලිනොච්චිය මහරෝහලේ තැන්පත් කොට ඇති අතර ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චිය පොලීසිය හා අක්කරායන් පොලීසිය පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.