කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් වාට්ටුවෙන් අධිකරණ වෛද්‍ය අංශයට නොයවා ඥාතීන්ට භාරදීමට කටයුතු කිරීම හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගිංතොට පදිංචි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔහු මීට සති දෙකකට පමණ පෙරාතුව කොරෝනා ආසාදනය වී කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වාට්ටුවට ඇතුළත් කර ඇති අතර ඉන් පසු 34 වාට්ටුවට මාරු කර යවා තිබේ.
34 වාට්ටුවේ දී ඔහු ඊයේ (08) රාත්‍රී මියගියේය. ඔහුගේ මරණනයෙන් පසු වාට්ටුවේ වෛද්‍යවරියක විසින් මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව බව සඳහන් කරමින් එම සිරුර ඥාතීන්ට භාරදීමේ මූලික කටයුතු සිදුකර තිබිණි. ඥාතීන් විසින් මියගිය පුද්ගලයාගේ සිරුර වාට්ටුවේ ම තබාගෙන තම ආගමික චාරිත්‍ර අනුව නහවා පිරිසිදු කිරීමට ද කටයුතු කර ඇත.
ඥාතීන් මරණ සහතිකය ගැනීමට ගිය අවස්ථාවේ දී උප්පැන්න, මරණ හා විවාහ රෙජිස්ට්‍රාර්වරයා එම ලේඛන පරීක්ෂාකර බලා මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව බැවින් සිරුර ඥාතීන්ට භාරදීමට නොහැකි බව පවසා තිබේ.
මේ පිළිබඳ රෝහල් පොලිසියට හා අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දීමෙන් පසු අද(09) උදෑසන මළ සිරුර අධිකරණ වෛද්‍ය අංශයේ මෘත ශරීරාගාරයට යවා මුද්‍රා තබා ඇති අතර පොලිසිය විසින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් සියලු දෙනා ම නිරෝධායනයට යොමුකිරීමට කටයුතු කර තිබේ.
ගාල්ල සිරංගිකා ලොකුකරවිට