මේ දින වල ඇදහැලෙන වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඉදිරියේදී ඇති විය හැකි ගංවතුර තත්වයෙන් කැළණි ගඟ දෙපස ජනතාව ආරක්ෂා කිරීම සඳහා කැළණි ගඟ හරහා අඹතලේ ප්රදේශයේ වැලි කොට්ට යොදා ඉදිකර ඇති ලවණ බාධකය ඉවත් කිරීමට නාවික හමුදාව ඊයේ (14දා) හා පෙරේදා (15දා) දිනයන්හි කටයුතු කරන ලදි.
කැළණි ගඟෙහි ජල මට්ටම අඩුවන කාලසීමාවේදී කැළණි ගඟෙන් අඹතලේ ජල පවිත්රාගාරය වෙත ජලය සපයනු ලබන ස්ථානයට මුහුදු ජලය මිශ්රවීම වැළැක්වීම සඳහා අඹතලේ ප්රදේශයේදී කැළණි ගඟ හරහා වැලි කොට්ට යොදා තාවකාලික ඉදිකර තිබූ ලවණ බාධකය මෙසේ ඉවත් කර තිබේ. මේ සඳහා බටහිර නාවික විධානයට අනුයුක්ත කිමිදුම් අංශයේ නාවිකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් යෙදවීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර එම කණ්ඩායම විසින් දැඩි පරිශ්රමයක් යොදා එම වැලි කොට්ට සාර්ථකව ඉවත් කිරීමට කටයුතු කරන ලදි.
කොරෝනා වෛරසය මැඩලීමේ මෙහෙයුම් සඳහා අඛණ්ඩ දායකත්වය ලබා දෙමින් සිටින නාවික හමුදාව ඉදිරියේදී වර්ෂාවේ වැඩි වීමත් සමඟ ඇති විය හැකි ගංවතුර තත්වයන්ගෙන්ද ජනතාව ආරක්ෂා කිරීම සඳහා මේ වන විටත් මෙවැනි බෝහෝ වැඩසටහන් ක්රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටී.