Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා ගෙන යන ක්‍රියාමාර්ග, ඉදිරි වැඩපිළිවෙළ හා මතභේදයට තුඩු දී ඇති පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය අදහස් ප්‍රකාශ කර තිබේ.
ඒ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිති වීරතුංග මහතා හා පැවැති සම්මුඛ සාකච්ඡාවකදීය.
කොරෝනා මර්දනය සහ ආර්ථික පුනර්ජීවනය විෂයය කොට ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා කළ සාකච්ඡාව
ආයුබෝවන් ජනාධිපතිතුමනි, ඔබතුමාට නිරෝගිමත් ඒ වගේම බෙහෙවින් ඵලදායි සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් මා ඔබතුමාව ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා.
සමස්ථ ශ්‍රි ලංකාවාසි සියලු දෙනාටත් නිරෝගිමත් සතුටින් පිරි අලුත් අවුරුද්දක් වේවායි මා ප්‍රර්ථනා කරනව
අද දින වන විට COVID-19 වසංගතය නිසා සාමාන්‍ය ජන ජීවිතයට අප මීට පෙර අත්දැක නොමැති අන්දමට විශාල බලපෑම් ඇති කර තිබෙනවා. එය අපගේ පෞද්ගලික මෙන්ම සමාජයීය බැඳීම්වලටත්, ඒ වාගේම අප සියලු දෙනාගේම රැකියාවලටත් බලපා තිබෙනවා.
මේ තත්ත්වය අපේ රටට පමණක් බලපා ඇති දෙයක් නොවෙයි. දකුණු ආසියාව, ඈත පෙරදිගට, ඒ වගේම බටහිර රටවලටත් අතිභයානක ලෙස බලපා තිබෙනවා. අපේ අසල්වැසි රටවල් ගත්තොත් ඒ රටවලත් COVID-19 ආසාදනය නිසා ඇති වී තිබෙන තත්ත්වය කොහෙත්ම හොඳ නැහැ.
මේ අවස්ථාවේදී රටේ ප්‍රධානියා මෙන්ම ශ්‍රි ලංකාවේ විධායකයේ ප්‍රධානියා ලෙසත්, ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක ලෙසත්, ඊට අමතරව අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙසත්, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඔබත්, අපත් සමග මේ සාකච්ඡාවට එක්වන්නේ මා ඉහතින් සඳහන් කළ ආකාරයට අද වන විට ශ්‍රී ලංකාව මේ දරුණු වසංගතයට මුහුණ දෙමින් සිටින ආකාරය පිළිබඳව ශ්‍රී ලාංකික ජනතාව දැනුවත් කිරිමටයි. ජනාධිපතිතුමනි, ඔබතුමාණන්ට සුබ, ඒ වගේම නිරෝගීමත් අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන් කියා ආචාර කරනවා.
ප්රශ්නය - 01
ප්‍රථමයෙන්ම ජනාධිපතිතුමනි රජය මේ පසුගිය කාලය තුල කොවිඩ් 19 වෛරසය මැඩ පැවැත්විමට ගන්නා ලද ක්‍රියාමාර්ග ගැන ඔබතුමන් සැහීමට පත්වී සිටිනවාද යන්න, ඒ වගේම ඒ ක්‍රියාමාර්ගවල ප්‍රගතිය ගැන ඔබතුමාට තිබෙන්නේ විශාල දැනිමක්. ඒ නිසාම මම ඉල්ලා සිටින්නේ මේ ගැන යම්කිසි විග්රහක් අපට ඉදිරිපත් කරන ලෙස.
පිළිතුර
මෙය පාලනය කර ගැනීම සඳහා සෞඛ්‍ය අංශයේ පහළම කම්කරුවාගේ සිට මහජන සෞඛ්‍ය නිලධාරීන්, හෙදියන්, වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් නිලධාරීන් විශාල සේවයක් කළා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශය නිරතුරුවම විශාල සේවයක් සිදු කරනු ලබනවා.
ඒ වගේම මේ කාලය තුළදි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු රජයේ සේවකයන් මනා කැපවීමකින් යුක්තව කටයුතු කරමින් යනවා.
මේ සෑම දෙනාගේම කැපවීම මත තමයි අද රට මේ උවදුරින් මුදවා ගැනීමට පාලනය කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙන්නේ. දුෂ්කරතා මධ්‍යයේ මේ තත්ත්වයට මුහුණ දුන්න රට වැසියන්ට මාගේ ස්තූතිය පුද කරනවා.
2019 දෙසැම්බර් මාසෙ තමයි කොරෝනා වෛරසය නැත්නම් කොවිඩ් 19 කියන නව වෛරසය චීනයේ වුහාන් නගරයෙන් මුලින්ම වාර්තා වුනේ. ජනවාරි මාසයේ මැද වන විට චීන රජය මේ වෛරසය අවදානම තේරුම් ගෙන ලෝකයේ අනික් රටවල් දැනුවත් කිරීමට කටයුතු කලා.
මේ වන විට චීනයේ වුහාන් නගරයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් හා ඔවුන්ගේ ලඟම ඥාතින් 34 දෙනෙකු ලංකාවට ගෙන්වා ගැනිමේ අභියෝගය අපට ලැබුණා. ඒ අනුව විශේෂ ගුවන්යානයක් චීනයට යවා පෙබරවාරි මස 01 වෙනිදා අපි ඔවුන්ව ලංකාවට ගෙන ආවා. නමුත් ඔවුන්ගෙන් කිසිදු ආකාරයකට රෝගය ලංකාවට ඇතුලුවීම වැලැක්වීම සඳහා ඉතාමත්ම විධිමත් නිරෝධායන වැඩපිලිවෙලක් දියතලාව හමුදා කඳවුර භාවිතා කරමින් අපි සකස් කර තිබුනා.
රටේ ජනාධිපතිවරයා විදියටත් මමත්, මගේ රජයත් මෙම වසංගතයේ ඉදිරි අවධානම කලින්ම තේරුම්ගෙන එය පාලනය කිරීම සඳහා පියවර ගත්තා. ජනවාරි මාසේ 26 වෙනිදාම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශ ඇතුලු අදාල ක්ෂේත්රවල අය ඇතුලත් කොට විශේෂ කාර්ය සාධක බලකායක් ස්ථාපනය කලා. ඉන් මූලිකවම කලේ මේ වසංගතය පාලනය කිරීම සඳහා රජයට උපදෙස් ලබාදීමයි.
ජනවාරි 27 වෙනිදා තමයි ලංකාවේ පළවෙනි කොරෝනා ආසාදිතයා විදියට චීන කාන්තාවක් හඳුනාගත්තේ.
මේ වන විටත් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සේවය කරන ඉතාලිය, කොරියාව, වැනි රටවලටත් වසංගතය පැතිරිලා තිබුනා. අපට පෙනී ගියා මේ අවස්ථාවේ ඉතාලිය කොරියාව වැනි රටවලින් බොහෝ දෙනෙක් ආපසු ලංකාවට පැමිණෙමින් සිටින බව. ඒ අය හරහා ඒ වන විටත් රෝගය ලංකාවට ඇතුලත් වීමේ අවධානමක් තිබුනා.
ඒ අනුව පෙබරවාරි මස 10 වෙනිදා තීරණය කලා ඉතාලිය, කොරියාව, ඉරානය වැනි අවදානම් සහගත රටවල් වල සිට ලංකාවට පැමිණෙන සෑම කෙනෙක්ම නිරෝධායනය මධ්‍යස්ථාන වලට ඇතුළත් කළ යුතුයි යන්න. නමුත් අපි දැඩි තිරණයක් ගත්තා අත්‍යවශ්‍යයෙන්ම ඔවුන් නිරෝධායනය විය යුතුයි කියා.
ඒ අනුව පෙබරවාරි මාසයේ 16 දින වන විට අපි තීරණය කලා ලංකාවට පිටරට සිට පැමිණෙන සෑම කෙනෙක්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන්න.
මාර්තු 12 වනදා වන විට අප මේ රටේ සියලුම පාසල්, විශ්වවිද්‍යාල හා අධ්‍යාපනික ආයතන වලට නිවාඩු ලබා දුන්නා. එක ළමයෙකුට රෝගය ආසාදනය වුනා නම් එය බොහෝ දෙනෙකුට පැතිරීමේ අවධානම තිබුනා.
පාසල් විශ්වවිද්‍යාල වසා දැම්මා පමණක් නොව ඔවුන්ට දුරස්ථ අධ්‍යපනය හරහා අධ්‍යාපනය කරගෙන යන්න අවස්ථාව ලබා දෙන්න කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා.
මාර්තු මස 18 වන විට අපි තීරණයක් ගත්තා ලංකාවේ ගුවන් තොටුපලට විදේශ රටවල සිට ගුවන් මගීන් පැමිණිම සම්පුර්ණයෙන්ම නතර කර දමන්න. ඒ වුනත් රජය ඉන්දියාවේ දඹදිව වන්දනාවේ ගොස් සිටි වන්දනාකරුවන් 900 කගේ ප්රශ්නය ගැන සංවේදි වුනා.
එනිසා ඉන්දියාවට විශේෂ ගුවන් යානා යවා ඒ අය ආපසු ගෙන්වා ගන්න, ඔවුන්ව නිරෝධායනයට ලක්කරන්නටත් අපි කටයුතු කළා. මාර්තු 20 වැනිදා සිට 27 වනදා දක්වා අපි ප්‍රථමයෙන් නිවසේ සිට වැඩ කරන සතියක් රාජ්‍ය සේවය සඳහා නම් කරා. එයට හේතුව අපි මාර්තු 20 වෙනිදා ඉඳලා ඇඳිරි නිතිය පනවපු නිසා.
ජනවාරි 27 වනදා අපට පළමුවෙන්ම හමු වූ චීන ජාතික කාන්තාව සුවවී පෙබරවාරි 19 වෙනිදා රටින් පිටව ගියාට පසු ලංකාව තුල වෛරසය ආසාදනය වු ශ්‍රී ලාංකිකයෙකු මුලින්ම හමුවුනේ මාර්තු 11 වෙනිදා. එම වෛරසය ආසාදනය වු පුද්ගලයා IDH රෝහලට ඇතුලත් කලා. එදා සිට සෑම දවසකම වාගේ රෝගින් හමුවුනා. විශේෂයෙන් මේ රෝගය පැතිරැණු අයගෙන් 38 දෙනෙක් කෙලින්ම පිටරට සිට ඇවිත් නිරෝධායන මධ්‍යස්ථානවලට වලට ඇතුලත් කල අය..
ඉන්පසු අපි විවිධ අවස්ථාවන් හිදි නිරෝධායන මධ්යස්ථාවලටඅතුලත් කල අයගෙන් 79 දෙනෙකු රෝගින් ලෙස අපි හදුනාගෙන තියෙනවා. විවිධ ආකාරයෙන් රෝගය අසාධනය වුණු අය පිටතින් අපි 136 දෙනෙක් අපි හඳනාගෙන තියෙනවා.
ප්රශ්නය
ජනාධිපතිතුමනි ඔබතුමා රාජ්‍ය තන්ත්රය පිළබ ද හසල දැනුමක් තිබෙන කෙනෙක් . ඔබතුමා බොහෝම පැහැදිලිව මුලු රටටම කියා සිටියා. මේ කොවිඩ් 19 වෛරසය ආසාදනය මැඩපැවැත්වීමට මෙතෙක් ගත් ක්‍රියාමාර්ග දින වකවානු සහිතව. මෙයින් අපට පැහැදිලි වෙනවා මේ ගැන රජය ඉතා අවබෝධයෙන් කටයුතු කර ඇති බව. මම ඔබතුමාගෙන් අහන්නට කැමතියි රෝගියෙක් හඳුනාගත් විට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විස්තරයක් ලබාදෙන්න.
පිළිතුරු
දිනපතා මට මේ පිළිබඳ විශාල දත්ත ප්රාමාණයක් ලැබෙනවා. මේ අනුව තමයි මම නිවැරදිව තීරණ ගන්නේ. බුද්ධි අංශ ප්‍රධානියා මේ සම්බන්ධව මා සමග විශාල වැඩ කොටසක් කරනවා.
අපි කොරෝනා මර්දනය සඳහා මුල සිටම විධිමත් වැඩපිලිවෙලක් සකස් කල නිසා හඳුනාගත් සෑම රෝගියෙක් සම්බන්ධයෙන්ම සියලු විස්තර අපි සතුව තිබෙනවා. මේ පුද්ගලයාට රෝගය ආසාදනය වන්නට ඇත්තේ කෙලෙසද, ඔහු ආගිය තැන් මොනවාද, ආශ්‍රය කල අය කවුද, පමණක් නොව ඔහු ඇසුරු කල අය ආගිය තැනුත් ඔවුන් නිසා ආසාදනයට ලක්වීමේ අවධානම ඇති අයත් අපි කල් ඇතුව හඳුනාගන්නවා. ඒ නිසා බොහෝ දුරට මේ අයව කල්වේලා ඇතිව නිරෝධායනට යොමු කිරීමේ හැකියාව අපට තිබෙනවා.
මේ වැඩපිලිවෙල පටන් ගන්න පෙරත් රෝගය ආසාදනය වුවන් එම රටවලින් ලංකාවට ඇතුලු වී ඇති බව නිරෝධායන මධ්‍යස්ථාන වලට පිටතින් පසුව හමුවු රෝගින්ගෙන් පෙනී යනවා. ඒ වගේම මුල් කාලයේ අවධානයට යොමු නොවු ඉන්දුනිසියාව වැනි රටවලිනුත් රෝග වාහකයන් රට තුලට ඇතුලු වී තිබුනා. ඒ අයව අපිට හඳුනාගැනිමේ අවස්ථාව ලැබුනේ රෝග ලක්ෂණ මතුවී ප්‍රතිකාර ගැනීමට රෝහල් වලට පැමිණි විටයි. යම් අයෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙනවා නම් අපි ඔවුන්ව IDH රෝහලට ඇතුල්කොට PCR කියන මේ සඳහ ලොව තිබෙන හොඳම පරීක්ෂණය කරනවා.
අපි එහෙම රෝගියෙක් හඳුනාගත්ත ගමන්ම ඒ රෝගියාගේ පවුලේ අයවත්, ඊලග එම රෝගියාව සමීපව ආශ්‍රය කල අයත්, එම රෝගියා යම් කිසි ස්ථානයකට ගිහිල්ලා තිබුනානම් කාවහරි අශ්‍රය කරලා තිබුනානම් ඒ අය සියලු දෙනාමත් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනවා.
මේ සෑම පුද්ගලයෙකුම ඒ පුද්ගලයාට රෝගය වැලඳුනේ කොහොමද / කාගෙන්ද කියන විස්තර සියල්ලක්ම අපි පරීක්ෂණයට භාජනය කරනවා. මේ ක්‍රියාදාමය අපි හඳුන්වනවා CONTACT TRASING (සම්බන්ධිතයින් හඳුනාගැනීම) කියලා. එහෙම CONTACT TRASING එකකින් හඳුනාගන්නා කණ්ඩායම කියන්නේ CLUSTER එකක්. (පොකුරක්). මේ සෑම රෝගියෙක්ම හඳුනාගැනීම රෝගියෙක්ම නම් ආරෝග්‍ය ශාලාවලට යොසමු කිරීම ඒ රෝගියා ආශ්රයකරපු අය වෙන් කරලා නිරෝධායන මධ්‍යස්ථානයට යැවීම සිදු කරන්නේ. මීට අමතරව ඊට දුරස්ථව ඉන්න කොටසක් අපි ඒගොල්ලන්ගේ නිවෙස් වල ස්වයං නිරෝධානයනට ලක් කරනවා. මහජන සෞඛ්‍ය නිලධාරීන් පොලිස් නිලධාරීන් ඒ පුද්ගලයන්ගේ නිවෙස් වලට ගිහිල්ලා ඔවුන්ගේ පරීක්ෂණයට භාජනය කරලා තියෙනවා.
ඒ අනුව ඔවුන්ව නිරෝධායන මධ්‍යස්ථාන වලට හෝ ස්වයං නිරෝධායනයට යොමු කරනවා. සමහර විට අපිට විශාල කණ්ඩායමක් ආසාදනයට ලක් විමේ අවධානමක් තිබෙනවානම් ගම් පිටින් හුදකලා කරන්න සිදුවෙනවා. මේ වෙනකොට අපිට හමුවන වැඩි දෙනෙක් හමුවන්නේ මෙසේ හඳුනාගත් කණ්ඩායම් වලින්. මේ වන විට සමාජය තුල මේ රෝගය බෝවිම අපි අවම කරලා තියෙනවා. මොකද අපි වේලාසනින්ම අපි රෝගින් හඳුනාගෙන ඒ රෝගියා හා සම්බන්ධ සියලු දෙනාම නිරෝධායනයට යොමු කරන නිසා සමාජය තුල පැතිරීම පාලනය කරගන්න පුලුවන් වී තිබෙනවා.
මම ලිපි වල පළ කරලා තියෙනවා දැක්කා ලංකාවට මෙය ඉතා හොඳින් පාලනය කරගැනීමට පුළුවන් කම ලැබුණේ CONTACT TRASING හරහා බුද්ධි අංශ දක්ෂ ලෙස යොදා ගත්තු නිසා බව.
ප්රශ්නය - 03
ඔබතුමා මුළු රටටම හොඳින් පැහැදිළි කළා මුල් අවස්ථාවේදී ගත් ක්‍රියාමාර්ගත්, ඒවායේ ප්‍රතිඵලත් ගැන, ඒ වගේම ඔබතුමන් සෑහීමකට පත්වෙනවා කියලා. ඒ ඒ ක්‍රියාමාර්ග ක්‍රියාත්මකවන ආකාරය ගැන.
ජනාධිපතිතුමනි, සමාජ දුරස්ථභාවය සහතික කිරීමට ඇඳිරි නීතිය පැනවීමෙන් ජනතාවට මේ භයානක රෝගය ආසාදනය වීම වැළකුණත්, ඔවුන්ට අනේකවිධ කරදරවලට මුහුණ පාන්න සිදු වුණු බැව් මතයක් ජනතාව අතර ප්‍රචලිත වුණා.
විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය ආහාර ආදිය ලබාගැනීමට, බෙහෙත් හේත් ලබාගැනීමට ජනතාව ඇඳිරි නීතිය ඉවත් කළ විගස පොරකනු අප දුටුවා. මේ ගැන ඔබතුමන් සංවේදී වූ ආකාරය අප දුටුවා. රජයක් ලෙස ඔබතුමන් මේ ගැන දකින්නේ කොහොමද,
පිළිතුර
ඇඳිරි නීතිය නිසා සාමාන්‍ය ජන ජීවිතයට බාධාවක් වෙන බව අප කවුරුත් දන්නවා. ඒ වුනත්, අපට නොපෙනෙන සතුරෙක් සමග සටනකටයි අපට රටක් හැටියට, ජනතාවක් හැටියට යන්නට වුනේ.
අපි දැනගෙන සිටියා ඇඳිරිනීතිය පැනවු විට ජනතාවට ආහාර එකතු කොට තබා ගැනීමේ අවශ්‍යතාවය පැනනගින බව. ඒ නිසා ජනතාව වෙනුවෙන් රජය තීන්දු කිහිපයක්ම ගත්තා. විශේෂයෙන්ම ඇඳිරිනීතිය පනවන්නට පෙරම බොහෝ දෙනෙක් පරිභෝජනයට ගන්නා කල්තබා ගතහැකි ආහාර වන පරිප්පු හා සැමන් මිල විශාල වශයෙන් අඩු කරන්න කටයුතු කලා. අපි දැනගෙන හිටියා ඇඳිරි නීතිය පනවන්නට වෙනවා කියලා.
ඇඳිරි නීතිය පැනෙව්වත් කෘෂිකර්මාන්තය වැනි ජනතාවගේ මුලික අවශ්‍යතාවයන්ට බලපාන ක්ෂේත්‍ර දිගටම පවත්වාගෙන යාමට රජය හැකිතරම් උත්සහ කලා. එනිසා තමයි පොලොන්නරුව, අනුරාධපුරය, අම්පාර වැනි කෘෂිකාර්මික ප්‍රදේශවල යල කන්නයේ වී ගොවිතැනේ යෙදෙන ගොවීන්ට ගොයම් කපා නැවත කුඹුරු සකස් කරගන්නට අවශ්‍ය නිසා ඇඳිරිනීති කාලය තුල තමන්ගේ වෘත්තිය කරගෙන යාමට ඒ අයට අවසරය ලබාදුන්නා.
අපි දන්නවා මේ හේතුව නිසා විශාල වශයෙන් එදිනෙදා වේතනයක් ලබපු අය, ඒ වගේම කර්මාන්තශාලා වල වැඩකල අය, ස්වයං රැකියා කරන අය, ත්‍රිවීල් රියදුරන්ට මිලියන 1.5ක් පමණ සිටින ස්වයං රැකියාවලට පහරක් ඇතිවුණා. තමන්ගේ එදිනෙදා ජීවිතය ගෙනයාමට අපහසුතාවයක් පැන නැගුනා. ඒ නිසා ජනතාවට හැකි පමනින් සහන ලබාදෙන්නට රජය කටයුතු කොට තිබෙනවා. විවිධ නිර්නායකයන් යටතේ ලක්ෂ සංඛ්‍යාත පවුල් වලට මේ ඇඳිරිනීති කාලය තුල තමුන්ගේ මුලික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා මුල්‍ය සහනාධාරයක් ලබා දීමට පවා රජය කටයුතු කර තිබෙනවා.
ඇඳිරිනීතිය බලපවත්නා කාලය තුල ජනතාවට අවශ්‍ය කරන සේවාවන් ගැන සොය බලා අවශ්‍ය පිලියම් ලබා දීමට අපි විශේෂ කාර්ය සාධක බලකායක් පවා පිහිටෙව්වා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන්. මං හිතන්නේ මේ කාර්යය සාධක බලකාය සෑම ක්ෂේත්රයක් දිහාම බලලා විශාල සේවයක් කරා. ඒ වගේම රජය ක්‍රියාමාර්ග රැසක් ගත්තා සාමාන්‍ය ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට. මාසිකව පඩි ලැබෙන අයට, විශ්‍රාමිකයින්ට කලට වේලාවට ඒ මුදල් ලබා දුන්නා. ඒ අයගේ ණය වාරික ආදිය අය කිරිම නැවැත්වුවා. එදිනෙදා රැකියාව කරලා හම්බ කරන් කන බොන අයට තවත් පහසුකම් රැසක් ලබා දුන්නා. ඒ ගැන මුළු රටම මේ වන කොට හොඳින් දන්නවා.
ත්‍රිරෝද රථවලින් දෛනික ආදායමක් උපයන අයට, පාසල් වෑන් රථ, බස් රථ ආදිය තිබෙන අයට ලීසිං ගෙවීම ආදියෙන් විශාල පහසුකම් ලබාදී තිබෙනවා. සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාර වලට ද අපි සහන ලබාදීලා තියෙනවා. මේ වගේ සහන රාශියක් ආර්ථික අපහසුතා තියෙන ජනතාව වෙනුවෙන් මේ කාර්යය සිද්ධ කරා.
යම් යම් අපහසුතා සිද්ධ වෙලා තියෙනවා. ඒ අපහසුතා මධ්‍යෙය් අපි මේ කාර්යයන් සිදු කරනවා. මේ අපහසුතාවයන් වෙන වෙන අභිමතාර්ථයන් ඉෂ්ට කරගැනීමට භාවිතා කරන්නට එපා කියලා මම ඉල්ලා සිටිනවා.
මම විශ්වාස කරනවා බොහෝ වේලාවට රාජ්‍ය සේවය පිළිබඳ දෝෂාරෝපණ විවේචනයට ලක් වුණත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ රාජ්‍ය සේවයට ඇති හැකියාව නිසා.
ප්රශ්නය - 04
දැන් අපේ ආර්ථිකය ගැන ඔබතුමන්ට අලුතින් හිතන්නට වෙලා. ඔබතුමා ඉදිරිපත් කරා මේ රටේ සෞභාග්‍යයේ දැක්ම එහි තිබුණා බොහෝම පැහැදිලිව ආර්ථික උපායමාර්ග. දැන් ඒ උපායමාර්ග කරගෙන ගියා නම් අපිට යම් කිසි තැනටක එන්නට තිබුණා. අපිට අලුතින්ම හිතන්නට වෙලා තියෙනවා මේ උපායමාර්ග ගැන. ඔබතුමා ගිය ගමන් මාර්ගය වෙනස් කරන්න. දැන් මුළු රටම බලාගෙන ඉන්නවා මොකක්ද මේ ජනාධිපතිතුමා ප්‍රධාන රජය කරන්න යන්නේ. මේ අපේ සහෝදර ජනතාවගේ ජීවනෝපාය ගැනත් තදින්ම බලපාන කරුණක්. ඔබතුමාගේ දර්ශනය කුමක්ද මේ ගැන.
පිළිතුර
විශේෂයෙන්ම ක්ෂේත්‍ර කිහිපයකට විශාල පහරක් ලැබුණා අපේ ආර්ථිකයෙන්. දැන් මාසෙකට පමණ කාලයකට පස්සේ අපිට හිතන්නට වෙලා තියෙනවා අපේ ආර්ථිකය පනගන්වන්නේ කොහොමද කියන කාරණය. අපිට විදේශ විනිමය, රැකියා උත්පාදනය වූ සංචාරක ක්ෂේත්රය, ස්වයං රැකියා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇගලුම් කර්මාන්තය හා අනෙකුත් අපනයන ක්ෂේත්රවලට විශාල පසුබෑමක් සිද්ධ වී තිබෙනවා මේ කොරෝනා වෛරසය නිසා. මේක හොඳම අවස්ථාව ආර්ථික සැලැස්මේ වෙනසක් කරලා දේශිය ආර්ථික සැලැස්මකට යොමු වීමට. පසුගිය කාලයේ අපේ රටේ නිපදවන්න පුළුවන් දේත් පිටරටින් ගෙනාවා. අපිට කෘෂිකර්මාන්තය අතින් ස්වයං පෝෂිත වෙනවා විතරක් නොවෙයි අපේ රටේ නිපදවන දේවල් පිටරටවලට යවන්නත් අවස්ථාව උදා කරගන්න පුළුවන්.
ලෝකයේ සෑම රටකම පාහේ ආර්ථිකය කඩා වැටෙනකොට අපේ ආර්ථිකයත් කඩා වැටෙනවා. අපි බොහොම ක්‍රමානුකූලව අපේ ආර්ථිකය යම් තත්ත්වයකට පත් කළත් මුළු ලෝකයේම ආර්ථිකය යථා තත්ත්වයකට පත් නූනොත් අපට අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති වෙනවා.
උදාහරණයක් ලෙස අපේ සංචාරක ක්ෂේත්රය ගනිමු. සංචාරකයන් විශේෂයෙන් පැමිණෙන යුරෝපයෙන් අපට හිතන්න බෑ කවදාද මේ සංචාරකයන්ට එන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට හොද අවස්ථාවක් නැවත හිතන්නට මොන රටවල් ද මේ උවදුරෙන් ඉක්මණින්ම ගොඩ එන්නේ. ඒ ගොඩ එන රටවල් වලින් අපි මේ සංචාරකයෝ ගෙන්න ගන්නට පුළුවන් වෙන්නේ කියන කාරණයට අපි හිත යොමු කරන්නට වෙනවා.
ඒ වගේම අපනයන ක්ෂේත්රය අළුත් වෙළදපොළවල් සොයා ගන්නට අපට සිදුවේවි. සෞඛ්‍ය ක්ෂේත්රයට අවශ්‍ය ආරක්ෂක ඇඳුම් මේවා නිෂ්පාදනය කරන්නට හොද අවස්ථාවක්.
තොරතුරු තාක්ෂණය සෑම රටකටම බාධාවකින් තොරව කරගෙන යන්නට පුළුවන් ක්ෂේත්රයක්. තුන් ගුණයකින් පමණ ඉතිරිය ලැබෙන අපනයන ආදායම වැඩි කරගන්න ඒ වගේම රට තුළ රැකියා උත්පාදනය කරගන්නට හොඳ අවස්ථාවක් කියලා.
ආහාර සුරක්ෂිතභාවය කියන එක ඉතාමත් වැදගත්. අපිට පමණක් නෙමෙයි මුළු ලෝකයම ආහාර සුරක්ෂිතභාවය සහතික කරගනී දියුණු රටවල්. අප ස්වයංපෝෂිත වීම පමණක් නොවෙයි ආහාර අපනයනය කරන්නට අපනයනය ක්ෂේත්රයට අපි යොමු වෙන්නට හොඳ අවස්ථාවක්.
ඒ වගේම ගොවියාගේ ආදායම වැඩි කරන්නේ කොහොමද කියන කාරණය. මේක හොඳම අවස්ථාවක්. එකක් ගොවියාගේ තාක්ෂණය ඔහුට හඳුන්වා දෙන්න. නව තාක්ෂණික ක්‍රම හඳුන්වා දී මේ ක්ෂේත්රය දියුණු කරගන්නට අපිට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ තාක්ෂණය ගෙනල්ලා අපි කෘෂිකර්මාන්තය තරුණයන් පවා ඒකට යොමු කරලා තාක්ෂණය ගෙනල්ලා කෘෂිකර්මාන්තය හා සම්බන්ධ කර්මාන්ත ඇති කරලා මේක ඉතාමත්ම වැදගත්. දේශීය ආර්ථිකය අපි ගොඩනගන්න.
මේක හොඳ වේලාවක් සෑම දිනක්ම වගා කරන්නට. ඒ වගේම රජයට අයත් විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා මේ රාජ්‍ය සමාගම්වලට. හැබැයි මේවා පාඩු ලබනවා. මේවා ලාභ තත්ත්වයකට ගෙන්න ඕන.
ඒ වගේම තේ වතු තියෙනවා. පාඩු ලබනවා. මේවා අපි ලාභ ලබන වගාවන් බවට පත් කරන්නට ඕන. මේවා කාර්යක්ෂම කර ලාභ ලබන තත්වයට පත් කර යටි වගාවන් ඇති කර සෑම මුඩු බිමක්ම පවා වගා කරන්න ඕනි.
අපි සතුටු වෙන්න ඕන තේ මණ්ඩලය ඉතිහාසයේ පළවෙනි වතාවට තාක්ෂණය භාවිතා කරලා දුරස්ථව තේ වෙන්දේසියක් තිබ්බා. මේ වගේ දේශීය ආර්ථිකය ආර්ථික මොඩලය අපේ සැලැස්ම අපි වෙනස් කරගන්නට ඕන. ඒවට නව වෙළඳපලවල් හොයාගෙන දියුනු කරගන්න ඕන.
ප්රශ්නය - 05
විදේශ රටවලින් ගුවන් යානා එන්නේ නැහැ ගුවන්තොටුපල වසාදමා තියෙනවා. මේ රටවල් ගණනාවක එනම්, ඉන්දියාව, නේපාලය, පකිස්ථානය, බංගලාදේශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බෙලරූස් වගේ විශාල රටවල් ගණනාවක විවිධ වර්ගයේ පුද්ගලයින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ එන්න ඉන්න අය ගැන ගන්න පියවර කුමක්ද ?
පිළිතුර
ඒකට සැලැස්මක් යොදලා තියෙනවා. මුලින්ම විවිධ වර්ගයේ ලංකාවට එන්න බලාපොරොත්තු වන අය ප්රමුඛත්වයක් මත ලංකාවට ගෙන එන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. මූලික ප්‍රමුඛත්වය අනුව ශිෂ්‍යයන් ගෙන්වීමට කටයුතු කරනවා. ඔවුන් ගෙන්වීමේදි ක්‍රමවේදයක් යොදලා තිබෙනවා. ඔවුන්ට ගුවන් තොටපලේදීම PCR පරීක්ෂණය කරන්න කටයුතු කරනවා
PCR පරීක්ෂාවෙන් පසු ඔවුන් කෙලින්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට යැවීමටත් ඒ වගේම අනිකුත් අයට එම වෛසරය බෝ වීම වැළැක්වීමටත් අපි සියලු කටයුතු මුල අවස්ථාවේ සිටම අවසාන අවස්ථාව තෙක්ම සැලසුම් කර තිබෙනවා.අපිට ගෙන එන්නට පුළුවන් වෙන්නේ දවසකට සීමිත සංඛ්‍යාවක්. ඒ අනුව අපි ප්‍රමුඛත්වය දීලා තියෙනවා අපි විවිධ හේතූන් බලලා. ඒ අයගෙන් දැනටමත් අපි ඒ රටවල්වලින් අවසර ඉල්ලලා තියෙනවා
මොකද ඒ රටවල්වලත් වහලා තියෙන්නේ. ඒ නිසා රටවලින් දැනටමත් අපි අවසර ඉල්ලලා තිබෙනවා අපේ ගුවන්යානයකට එන්නට. ඒ අවසරය ලැබුණු වහාම දැනටමත් අපි මේ කාර්ය ආරම්භ කරලා තිබෙන්නේ. ලැබුණු වහාම අපි ඒ අයව ගේන්නට කටයුතු කරනවා
ප්රශ්නය - 06
රටේ ආර්ථිකය බිඳ නොවැටී පවත්වාගෙන යාමත්, ජන ජීවිතය යථාවත් කිරීම පිළිබඳවත්, ඔබතුමන් සෑමවිටම උනන්දුවක් දැක්වූවා. මේ පිළිබඳව කුමන ආකාරයේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ?
පිළිතුර
ආර්ථික පැත්තෙන් සහ සමාජීය පැත්තෙන් ජනතාවට ඇඳිරිනීතියක් දාලා ගෙවල්වලට හිරකරලා තිබුණම තියෙන ප්‍රශ්න මේ සියලුම දේවල් කල්පනා කරලා තමයි අපි විවිධ තීරණ අරගත්තේ. මේ පිළිබඳව ආර්ථික විශේෂඥයන් වන මහා බැංකුවේ උසස් නිළධාරින් සමග සාකච්ඡා කලා. රටේ ඉන්න ව්‍යාපාරිකයන්ගෙන් ආර්ථිකය ගැන දන්නා පාර්ශවයන්ගෙන් මේ ප්රශ්නය සාකච්ඡා කලා. විශේෂයෙන්ම වෛරසය සම්බන්ධව ඇතිවෙලා තියන අවශ්‍යතාවයන් ඒ වගේම රට විවෘත කළාම තියෙන අවශ්‍යතාවයනුත් දෙක එකතු කරලා යම් පාලනයක් ඇතිව රටට් යම් විවෘත කිරීමක් ඇතිකිරීමට තමයි අපි ඒ තීරණය ගත්තේ.
මෙහිදී අපි සැලකිල්ලට භාජනය කළා මොන ප්රදේශවලද ආසාදිතයින් ඉන්නේ කියලා. අපි ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී පුත්තලම, ගම්පහ කාළඹ කළුතර යන ප්‍රදේශවල ඇඳිරීනිතිය ඉවත් කළේම නැහැ. අපි බැලුවා මොන කුඩා ප්රදේශවලටද මේ අය සීමා කරන්න පුළුවන් කියලා. අපි බැලුවා පොලිස් වසම් හැටියට මේ අය සීමා කරන්න පුළුවන්ද කියලා. ඒ වැඩිදෙනෙක් ඉන්න පොලිස් වසම් කිසිසේත්ම විවෘත කරන්න බැරි නිසා මේ
ඇඳිරීනීතිය හා පාලන ක්‍රම ක්‍රියාත්මක කරන්න අපි තීරණය කළා. සමහර දිස්ත්‍රික්ක වල කිසිම කෙනෙක් නැත. සමහර දිස්ත්‍රික්ක වල එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්නවා. ඒ අයත් ඒ ප්‍රදේශයේ ඉදල නෙවෙයි පිටරට ගිහින් හැදිලා ආව අය. මේ වගේ දිස්ත්‍රික්ක අපිට පහසුවෙන් විවෘත කරන්න පුළුවන් එම නිසයි තහංචි ඇතුළත විවෘත කිරීමට ක්‍රමවේදයක් අපි තීරණය කළේ.මේ තීරණය අපි හුදෙක්ම ගත්තේ ව්‍යාපාරවලට අවස්ථාවක් ලබාදෙන්න කර්මාන්ත වලට අවස්ථාවක් ලබාදෙන්න රට තුළ නිපදවෙන එළවළු වැනි භාණ්ඩවලට රට තුළට එන්නට අවස්ථාවක් ලබාදෙන්න.
රාජ්‍ය සේවය දැන් මාසයකට පමණ කාලයක් වහලා තිබෙන්නේ . රාජ්‍ය සේවයේ යම්කිසි සේවාවක් ජනතාවට ලබාදෙන්න ඕන විශාල වගකීමක් ජනතාව වෙත පැවරෙනවා අපි මෙය විවෘත කළත් අනවශ්‍ය ගමන් යන්නට නොවෙයි මේ විවෘත කරන්නේ. අපි රජයක් හැටියට සෞඛ්‍ය දෙපාරත්මේන්තුවෙන් වේවා පොලිසියෙන් වේවා ත්රිවවිධ හමුදාවෙන් වේවා මේ කරන සෑම දෙයක්ම වඩාත් වැඩි ප්‍රතිඵලයක් ලබාගන්නට පුළුවන් වෙන්නේ ජනතාව වගකීමෙන් යුක්තව කටයුතු කළොත් පමණයි. අපි ප්රවෘත්තිවල දකිනවා විශාල ප්‍රමාණයක් ඇඳිරීනිතිය කඩකරලා.
වාහන අත්අඩංගුවට අරගෙන පුද්ගලයින් අත්අඩංගුවට අරගෙන මම ඉල්ලීමක් කරනවා වගකීමෙන් යුක්තව මේ වගේ සෞඛ්‍ය අංශය නියම කරලා තිබෙන පිළිපැදීම් වලින් පිටතට යන්න එපා. මේ වෛරසය නිසා තිබෙන තර්ජනය ඉවර වෙලා නැහැ අපි පාලනය කරලා කළමනාකරණය කරලා තියෙනවා. ඒක අපි ඒ විදියටම ඉදිරියට ගෙනයන්නට අපිට අපි ජනතාවගේ සහයෝගය ඉතාමත් වැදගත් වෙනවා.
ප්රශ්නය - 07
ජනාධිපතිතුමනි, අප මෙතෙක් සාකච්ඡා කළේ කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ගත් ක්‍රියාමාර්ගයන් ඒ වගේම ඒවායින් ලද ප්‍රතිඵලයත්, ඒ එක්කම කොරෝනා වසංගතය නිසා ජන ජීවිතයට වුණු බාධාවත්, ආර්ථික කඩා වැටීමත් එයට යෙදිය හැකි කෙටිකාලීන පිළියමුත් ගැන. සමහර අය කියනවා ඇයි මේක තව ටිකක් ප්‍රමාද කරන්න බැරි
පිළිතුර
බස්නාහිර පළාත තමයි අපේ ආර්ථිකය් සියයට 50කටත් වඩා දායකත්වයක් තියෙන්නේ. මේ අයට මේ අවස්ථාව ලැබෙන්නේ නැත්නම් තවත් ප්‍රමාද කළොත් අපි ආර්ථිකයේ විශාල ප්‍රශ්නයකට මුහුණ පාන්නට වෙනවා කියන එක තමයි ආර්ථික විශේෂඥයන්ගේ අදහස.එපමණක් නෙවෙයි සාමාජීය වශයෙන් එදිනෙදා වේතනයක් ලබපු ඒ අයට තමයි විශාල ප්‍රශ්නයක් ඇතිවුණේ. ඒ හින්දා තමයි යම්කිසි ප්‍රමාණයක ආර්ථික උපකාරයක් කරන්නට තීරණය කළේ. අපිට තව මාසයක් වහලා තියන්න පුළුවන් නම් මම කැමතියි නමුත් අපිට ඉතා බැරෑරුම් තීරණයක් ගන්න සිද්ධ වුණා මේ අවස්ථාවේ. සාමාන්‍ය වශයෙන් මාසයක් රටක් වහලා තිබුනොත් මොකද තත්ත්වේ.
මේ විවෘත කිරීම නිසා යම්කිසි කෙනෙකුට යම්කිසි සැකයක් ඇතිවෙනවා නම් ඒ සැකය දුරුකරන්න පුළුවන් වෙන්නේ ජනතාවට ඇයි අපි වහලා තියන්නේ. ඇයි අපි ඇඳිරිනීතිය දාන්නේ. මේ මිනිසුන් එකට ගැවසීම මේ දුරස්ථතාවය තියාගැනීමට මෙන්න මේ හේතූන් නිසා තමයි මේක නවත්තන්න බැරි. අපි ජනතාවක් හැටියට වගකීමකින් යුක්තව මේවයින් වැළකිලා ඉන්නවා නම් අපිට මේ ප්රශ්නය මුහුණ පාන්ට වෙන්නේ නෑ.පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ කොටසක් යොදවනවා විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ මම් කාර්ය පාලනය කරගන්නට. පසුගිය කාලයේ ඒ අය සෑම තැනකම විසිරිලා හිටියා නමුත් මම ආරක්ෂක ලේකම් තුමාට දැනුම් දුන්නා මේ ප්‍රදේශය යුධ කාලයේ තිබුණා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව අනවශ්‍ය ගමන් යන්නේ නැතුව මේ කාලය තුළ මේ ප්‍රදේශය පාලනය කරන්නට.
ප්රශ්නය - 08
ජනාධිපතිතුමනි, මේ වසංගතයෙන් වගේම ජනතාවට තවත් වැදගත් කරුණක් තිබෙනවා. දිගුකාලීනව බැලුවම ස්ථාවර රජයක් තිබිය යුතුයි. මේ සියලු ක්‍රියාමාර්ගයන් සාර්ථක කරගැනීමට ඒ සඳහා පාර්ලිමේන්තු මැතිවරණයක් අප්‍රේල් 25 වනදා පැවැත්වීමට නියමිත ව තිබුණත්, එය එදිනම පැවැත්වීමට හැකියාවක් නැති බවයි, මැතිවරණ කොමිසම ප්‍රකාශ කරන්නේ. මේ ගැන ඔබතුමන් දරන අදහස කුමක්ද?
පිළිතුර
2019 නොවැම්බර් මාසේ 16 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් මා ජයග්‍රහණය කලේ 69 ලක්ෂයක පැහැදිලි ජන වරමකින්. මම ජනතාවට සෞභාග්‍යයේ දැක්ම නමින් ප්‍රථිපත්ති ප්රකාශනයක් ඉදිරිපත් කර තිබුනා. මේ රටේ බහුතර ජනතාව ප්‍රජාතන්ත්‍රවාදිව තම ජනාධිපතිවරයා පත්කර ගත්තේ ඒ ප්‍රථිපත්ති ප්රකාශනය ක්‍රියාත්මක කිරීමටයි. ඒ සඳහා ජනතාව අනුමැතිය ලබා දී තිබුනත් මට සිදුවුයේ 2015 අගෝස්තු මාසේ තෝරා පත්කර ගනු ලැබු පාර්ලිමේන්තුවක් සමග කටයුතු කිරීමටයි. එම පාර්ලිමේන්තුව නියෝජනය කලේ වර්තමාන ජනමතය නොවෙයි. පාර්ලිමේන්තුව තුල බහුතර බලයක් නොතිබුන නිසා මට සිදුවුනා සුලුතර ආණ්ඩුවක් පිහිටුවන්නට.
මා ජනාධිපතිවරයා වශයෙන් බලයට පත්වන විට පාර්ලිමේන්තුව විසින් 2020 වසර සඳහා අයවැයක් සම්මත කොට තිබුනේ නැහැ. පසුගිය රජය රට පාලනය කරමින් සිටියේ අතුරු සම්මත ගිණුමක් හරහායි. ඒ වන විටත් රට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පා තිබුණා.
ජනතාව බලාපොරොත්තු වු ආකාරයට මගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් නව අයවැයක් හෝ අතුරු අයවැයක් සම්මත කර ගැනීම අත්‍යවශ්‍යව තිබුණා. අප පොරොන්දු වු ආකාරයට අධ්‍යාපනය සඳහා වැඩි මුදලක් වෙන් කිරීමට , තාක්ෂණික හා කෘෂිකාර්මික ක්ෂේත්රයන් සංවර්ධනය කිරීමට, නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට, කඩා වැටුනු ආර්ථිකය ගොඩ නැගීමට රජයට මුල්‍ය පාලන හැකියාව තිබිය යුතුයි.
මේ නිසා තමයි ව්‍යවස්ථාවට අනුව මට ලැබුනු පළවෙනි අවස්ථාවේදිම මාර්තු මස 02 දින තිබු පාර්ලිමේන්තුව විසුරුවා හැර සැබැ ජනමතය නියෝජනය වන නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම සඳහා මැතිවරණයක් අප්‍රේල් 25 වෙනිදා පැවැත්වීමටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 දා කැඳවීමටත් මම තීරණය කලේ. ස්වාධීන මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍යවන සම්පුර්ණ නිදහස හා බලය ඒ අනුව මැතිවරණ කොමිසමට පැවරුනා. මගේත් මැතිවරණ කොමිෂන් සභාවෙත් ප්රමුඛ යුතුකම හා වගකීම වන්නේ ඡන්දයකින් තම නියෝජිතයන් පත් කරගැනීම සඳහා වු ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රිය අයිතියට ගරු කොට නිසි කලට මැතිවරණය පවත්වා ජනතාවගේ පරමාධිපත්‍ය තහවුරු කිරීමයි.
නමුත් ඔබ දන්නවා වර්තමාන වසංගත තත්වය හමුවේ දින නියමයක් නොමැතිව මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා.
ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා මාස 03 ක් ඇතුලත නව පාර්ලිමේන්තුව රැස් විය යුතුයි. ඒ අනුව නව පාර්ලිමේන්තුවක් රැස් විය යුතු අවසාන දිනය වන්නේ ජුනි මස 02 දායි. ඒ සඳහා මැතිවරණය පවත්වන්නේ කුමන දිනයකදැයි තීරණය කල යුත්තේ කලින් නියම කොට තිබු දිනය වෙනස් කල ස්වාධීන මැතිවරණ කොමිසමමයි.
පවතින තත්වය යටතේ සුදුසු ආකාරයට මැතිවරණය පැවැත්වීම ස්වාධීන මැතිවරණ කොමිසමට අවස්ථාව තිබෙනවා. ඔවුන්ට අවශ්‍යනම් මැතිවරණය සඳහා දින කිහිපයක් වුනත් ගන්නට පුලුවන්.
වර්තමාන ව්‍යවස්ථාව තුල මැතිවරණය සම්බන්ධයෙන් වු විශාල බලයක් මැතිවරණ කොමිසම සතුව තිබෙනවා.
ඡන්දය පවත්වන ලෙස හෝ කල්තබන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමට බලපෑම් කරන්නට මම සුදානම් නැහැ. මා මෙතෙක් සියලු කටයුතු ව්‍යවස්ථාපිතව ඉටුකර තිබෙන අතර, නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු දිනය දැනුම් දී තිබෙනවා. යම් හෙයකින් ජූනි 02 දා වන විට ඡන්දය තබා නව පාර්ලිමේන්තුව පත් වී නොතිබුනොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට ලැබෙන්නේ නැහැ. එය කරන්න සිදුවන්නේ ඉදිරි දිනකයි. කෙසේ නමුත්, මොනම හේතුවක් නිසාවත් පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවීමට මට අවශ්‍යතාවයක් නැහැ. ඒ සඳහා මට නීතිමය වාතාවරණයකුත් නැහැ.
මේ වන විට කොරෝනා උවදුර මර්දනය කිරීම සඳහා අවශ්‍ය කරන සෑම පියවරක්ම මගේ රජය විසින් ගෙන තිබෙනවා. රටේ සියලුම ප්‍රධාන පෙලේ පක්ෂ ඇතුලු කණ්ඩායම් ගණනාවක් මැතිවරණය සඳහා නිසි පරිදි නාම යෝජනා භාරදී තිබෙනවා. ඒ අනුව මැතිවරණය පැවැත්වීමේ වගකීම දැන් තිබෙන්නේ ස්වාධීන මැතිවරණ කොමිසමටයි. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය කරන සියලුම ව්‍යවස්ථාපිත සහය රජය ලබා දී තිබෙනවා. මැතිවරණය අවසන් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත්කරගත් පසු නව පාර්ලිමේන්තුව කැඳවීමට මම සුදානම්.
09. ප්රශ්නය
අතිගරු ජනාධිපතිතුමා මේ දිනවල විරුද්ධ පකෂයේ නොයෙකුත් කණ්ඩායම් මැතිවරණයක් පැවැත්වීමට සුදුසු වාතාවරණයක් නොමැති බව හුවා දක්වමින් අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට නියමිතව තිබු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම කල් දැමිය යුතු යැයි ප්‍රකාශ නිකුත් කරමින් සිටිනවා. කුමන කාලයේ එම මැතිවරණය පැවැත්විය යුතු ද යන්න පිළිබඳවත් ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ පිළිබඳව ඔබතුමන් දරන අදහස කුමක් ද?
උත්තරය
මැතිවරණය දිගින් දිගටම කල් දැමීමට ඉල්ලීම් කිරීම හරහා රට ව්‍යවස්ථාපිත අර්බුදයකට ගෙන යා හැකි යැයි සිහින දකින්නන්ගේ යටි අරමුණ කුමක්ද යන්න වටහා ගැනීමේ අවස්ථාව ජනතාවට අද තිබෙනවා. රටට අවශ්‍ය කුමක්ද, එය කල හැක්කේ කෙසේද යන්න සම්බන්ධයෙන් විශේෂ නීතිමය ගැටලුවක් මේ අවස්ථාවේ නැති බවත් ව්‍යවස්ථාපිතව සිදුවිය යුත්ත ඉතා පැහැදිලි බවත්, අවසාන වගකීම තිබෙන්නේ කා ලගද යන්න ගැන සැකයක් නැති බව මම මේ අවස්ථාවේ සියලු දෙනාටම මතක් කොට සිටිනවා.
සමස්ථ ලෝකයම දණ ගැස්සු කොරෝනා තර්ජනයට ධෛර්යමත්ව මුහුන දී රට ගොඩනැගිමට සෞභාග්‍යයේ දැක්ම ප්‍රථිපත්ති ක්‍රියාත්මක කිරීම හරහා ජනතාවට වු පොරොන්දු ඒ ආකාරයෙන් ඉටු කිරීමටත් මම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවශ්‍ය කරන සහය රටට ආදරය කරන ඔබ සියලු දෙනාගෙන්ම අපේක්ෂා කරනවා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd