කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලොව පුරා ළදරුවන් මිලියන 80ක් පමණ එන්නත් ලබාගෙන නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අවධාරණය කරයි.
මෙම වසංගතය අවම වශයෙන් රටවල් 68ක එන්නත් කිරීමේ වැඩසටහන් කඩාකප්පල් කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ගෝලීය එන්නත් කිරීමේ වැඩසටහන වන ගාවි (Gavi), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) සහ සබින් එන්නත් වැඩසටහන් ආයතනය (Sabin Vaccine) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
වයස අවුරුදු 1ට අඩු ළමයින් මිලියන 80ක් එම රටවල ජීවත් වන බව ඔවුහු පැවසූහ.
"අපට එක් මාරාන්තික වසංගතයක් පැතිරීම තවත් එකක් සඳහා හුවමාරු කරගැනීම කළ නොහැකියි" යුනිසෙෆ් විධායක අධ්යක්ෂ හෙන්රියාටා ෆෝර් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වසංගතය අතරතුර ආරක්ෂිතව එන්නත් කිරීමේ ව්‍යාපාර නැවත ආරම්භ කළ හැකි ආකාරය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවලට නව මඟපෙන්වීමක් නිකුත් කර ඇත.
"අපට දැනගන්නට ලැබුණු එක් ප්‍රධාන කාරණයක් නම්, වෛරසය හමුවේ තමන් ගැන මෙන්ම සෞඛ්‍ය සේවකයන් ගැනද සැලකිලිමත් වෙමින් ප්‍රතිශක්තිකරණ කඳවුරු සඳහා ජනතාව පැමිණීමට මැලිකමක් දක්වන බවයි." යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත අධ්යක්ෂ වෛද්‍ය කේට් ඕ බ්‍රයන් මහතා ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සාමාන්‍යයෙන් එන්නත් ලබාදෙන සෞඛ්‍ය සේවකයන්ගෙන් අඩු පිරිසකට ගමන් බිමන් යාමේ සීමාවන් ඇතිවීම, ආරක්ෂිත උපකරණ නොමැතිකම සහ ඔවුන් කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීමේ කාර්යබහුලත්වය නිසාද මෙම මඟහැරිය හැකි බව කණ්ඩායම් පවසයි.
"කෝවිඩ් -19 වසංගතයෙන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට බාධා කිරීම නිසා සරම්ප වැනි එන්නත් මගින් වැළැක්විය හැකි රෝගවලට එරෙහිව දශක ගණනාවක් පුරා ලැබූ ප්‍රගතියට තර්ජනයක් ඇති කරනවා" යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
බලපෑමට ලක් වූ වැඩසටහන් සැලකීමේදී, රටවල් 27ක සරම්ප ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අත්හිටුවා ඇති අතර රටවල් 38 ක පෝලියෝ රෝගයට එන්නත් ලබාදීමේ උත්සාහයන් අත්හිටුවා ඇති බව එම කණ්ඩායම් පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගිය වසරේ අගභාගයේදී කියා සිටියේ එන්නත් කිරීමේ ව්‍යාපාරයට ඇති බාධා හේතුවෙන් සරම්ප ගෝලීයව ඉහළ ගොස් ඇති බවයි. එහි ප්‍රතිඵලයක් ලෙස 140,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කුඩා දරුවන් ය.
පෝලියෝ රෝගය තුරන් කිරීමේ උත්සාහයන් ගැටුම් හා ඇතැම් ප්‍රදේශ කරා ළඟා වීමේ දුෂ්කරතා හේතුවෙන් නිරන්තරයෙන් බාධා පැමිණ තිබේ. පෝලියෝ ප්‍රධාන වශයෙන් ඉතා කුඩා දරුවන්ටද බලපාන අතර, රෝගීන් 200 දෙනෙකුගෙන් එක් අයෙකුට ආපසු වැළැක්විය නොහැකි අංශභාගය ඇති කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
2018 දී වාර්තා වී ඇත්තේ රෝගීන් 33ක් පමණක් වන නමුත්, එන්නත මගින් වෛරසය තුරන් කළ නොහැකි වුවහොත් දශකයක් තුළ වසරකට පෝලියෝ රෝගීන් 200,000ක් දක්වා වාර්තා විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.