Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
2024 දෙසැම්බර් මස 14 වන සෙනසුරාදා
ගෝලීය වශයෙන් වසංගත තත්ත්වයකට මුහුණ පා සිටින අවස්ථාවක, කවදාවත් අත්විඳින්නට නොවූ දෛනික ක්‍රියාවලියකට අනුගත වීමට ලෝකයේ බොහෝ රටවල සේම ශ්‍රී ලාංකික අපටද සිදුවී හමාරය. මෙවැනි තත්ත්වයක් යටතේ මිනිසාගේ මානසික සෞඛ්‍ය තත්ත්වයන් කඩා වැටීමට ඇති හැකියාව ඉතා ඉහළය.
මේ ඒ පිළිබඳව ‘The Helping Hand’ මානසික සෞඛ්‍ය රෝහලේ අධ්යක්ෂ, සායනික මනෝ චිකිත්සක, කථිකාචාර්ය තාරු පරණවිතාන ගෙනෙන අදහස්ය.
“මෙවැනි වසංගතයක් පැතිර යෑමේදී මානසිකව ඇතිවන දේවල් තමයි ආතතිය හා වෛරසය පැතිරීම හේතුවෙන් හුදෙකලා වීමට සිදුවීම හා රෝගය වැලඳේවි යැයි ඇතිවන බිය. මෙවැනි ගැටලු සාමාන්‍ය පුද්ගලයෙකුට මෙන්ම වෙනත් සෞඛ්‍ය ගැටලු සමග පොරබදන අයටද හානිකර ලෙස බලපෑමට පුළුවන්. මෙවැනි අවස්ථාවක මානසික වශයෙන් වැඩි බලපෑමකට ලක්වන්න පුළුවන් කණ්ඩායම් අපිට හඳුනාගත හැකියි. ඔවුන් නම් වැඩිහිටි වයස්ගත පුද්ගලයන්, නිදන්ගත රෝග පවතින රෝගීන්, ළමුන් හා යෞවනයන්, වෛරසය සමග වැඩකරන සෞඛ්‍ය සේවයන් හා ඔවුන්ගේ සහයක කණ්ඩායම්.
මෙම වෛරසමය තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන පරිසරය මොවුන්ගේ මානසික ආතතිමය තත්ත්වයන් ඇතිකිරීමට වැඩි වශයෙන් බලපෑ හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය හා ඇමෙරිකානු මනෝ විද්‍යා සංගමය දක්වා තිබෙන්නේ.
මේ කණ්ඩායම්වලට අයත් අය වගේම, ඉන් බාහිර පුද්ගලයන් පවා තමන්ගේ සමාජ අන්තර් ක්‍රියා අඩාල වීම, රැකියාවේ සුරක්ෂිත බව නැති වීම, අන් අය සමග සම්බන්ධතා පවත්වාගෙන යෑමට නොහැකි වීම, හුදෙකලා බව හේතුවෙන් මානසික ආතතියට හා අධික බියට පත්වීමට පුළුවන්. මේ වෛරසය සඳහා නිශ්චිත වශයෙන් ඖෂධයක් නොමැති වීමත්, එහි ව්‍යාප්තිය සිදුවනුයේ සමාජශීලී භාවයෙන් වීම නිසාත් මේ අවස්ථාවේ හුදෙකලාව සිටීම හැර වෙනත් ක්‍රමයක් එය පාලනය කර ගැනීම උදෙසා අපට නොමැති වී තිබෙනවා.
අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, මෙම වෛරසයට මුහුණ දීමට හැකි අයුරෙන් සංවර්ධනය නොවීම මත තමයි අපට මෙලෙස අන් අයගෙන් වෙන්වෙලා කටයුතු කිරීමට සිදු වී තිබෙන්නේ. ඉතින් අපිට සමාජයෙන් දුරස් වී කටයුතු කිරීම අනිවාර්යයෙන් සිදු කරන්නට වෙනවා.
මේ වෙලාවේ දරුවන්ට පාසලට යෑම, ක්‍රීඩා කිරීමට යෑම වගේ දේවල් සිදුකිරීමට නොහැකියි. ඒ වගේම මිතුරන් හමුවීමට යෑම, සැමරුම් හා ප්‍රිය සම්භාෂණ, කැමති ආහාර නිවසෙන් පිටතට ගොස් රස බැලීම ආදිය සිදු කිරීමට හැකියාවක් නැහැ. මෙසේ සමාජයෙන් දුරස්ථ වීම හේතුවෙන් දැඩි වශයෙන් මානසික ආතතිමය තත්ත්ව ඇතිවීම සිදුවිය හැකියි.
මේ වසංගතය තව කෙතරම් කාලයක් පවතීද ? තවත් කෙතරම් කාලයක් සමාජයෙන් දුරස්ථව ජීවත් වීමට අපිට සිදුවේද කියා කියන්නට බැරි අවස්ථාවකයි අප මේ සිටින්නේ. ඒ අනුව අපේ රැකියා අහිමි වීම, ණය බර වැඩි වීම, ගෘහස්ථ වශයෙන් වෙහෙසකාරී පරිසරයක් නිර්මාණය වීම වැනි දේවල් හරහා වෙනදාට වඩා කම්මැලි බවක් ඇතිවීම, කෝපකාරී ස්වභාවයක් ඇතිවීම, කලකිරීම, ව්‍යාකූල වීම වැනි මානසික තත්ත්ව ඇතිවිය හැකි බව මනෝ විද්‍යාඥයන් සඳහන් කරනවා.
මානසික ගැටලුවක් හා මානසික පීඩාවක් ඇති වුණාම බොහෝවිට අපි සිදුකරනුයේ අපේ මිතුරන් හෝ සමීපතමයන් හමුවන්නට යෑම, රැකියාවේ කටයුතුවල නිරත වීම, ක්‍රීඩාවන්වල නිරත වීම, නිවසින් බැහැරව යෑම, ඒකාකාරීත්වයෙන් මිදීම සඳහා විනෝද කටයුතුවල යෙදීම, චාරිකාවල යෙදීම වැනි දේවල්. නමුත් කොරෝනා වෛරසය සමග ඇති වී තිබෙන තත්ත්වයේ ප්‍රබලම අවාසිය තමයි අපිට අනෙක් අය සමග සම්බන්ධ වී මේ මානසික ආතති තත්ත්වය කළමනාකරණය කරගැනීම දුෂ්කර වීම.
යම් පුද්ගලයෙකු ආතතියට, කනස්සල්ලට පත්වෙලා තිබෙනවානම් මේ වනවිට එම ආතතිය, කනස්සල්ල වැඩි වෙලා තිබෙන්නට පුළුවන්. අපි ලංකාවේ බැලුවොත් රාජ්‍ය සේවකයන් හා පෞද්ගලික සේවකයන්ට වඩා එදිනෙදා සේවයේ යෙදී ආදායම් උපයන පිරිස වැඩියි. නිවෙස්වල වැඩ කරන පිරිස්, කම්කරුවන්, වතු සේවකයන්, පදික වෙළෙඳුන් වැනි පිරිස් වැඩියි. ඔවුන්ගේ එම කටයුතුවල යෙදීම අඩාල වීම හේතුවෙන් ඔවුන්ට ඇතිවන මානසික ආතතිය ඉතාම වැඩියි. විශේෂයෙන් ඔවුන්ට මේ අවස්ථාවේ ඇතිවන ආර්ථික ගැටලු වැඩිවීම මත මානසික ආතතිමය තත්ත්වයනුත් ඉහළ යනවා.
මේ අවස්ථාවේ අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පිළිබඳව අවධානය යොමු කළහොත් ඔවුන් තනිකම හා හුදෙකලාව සමග පොරබදන අයයි. මේකත් සමග තමන්ගේ අවට පරිසරයෙන්, අසල්වැසියන්ගෙන් හුදෙකලා වීම මත වේගයෙන් ආතතියට පත්වන ප්‍රධාන කණ්ඩායමක් ලෙස මෙම වැඩිහිටි ප්‍රජාව නම්කරන්නට පුළුවන්. විශේෂයෙන් සිය ආහාර, ඖෂධ ආදිය සපුරා ගන්නේ කෙසේද යන්න කල්පනා කිරීම හේතුවෙන් ක්‍රමානුකූලව ඔවුන් කනස්සල්ලට, දුකට පත්වීම, තනිවීම වර්ධනය වෙලා අවසානයේ විෂාදය දක්වා ගමන් කරන ප්‍රවණතාව වැඩිවෙලා තිබෙනවා.
වැඩිහිටියන් තුළ මෙම අවස්ථාවේ මතුවිය හැකි ආතතිමය ලක්ෂණ
ආහාර ගැනීමේදී හා නිදාගැනීමේ කටයුතුවලදී බාධා ඇතිවීම
කනස්සල්ලෙන් සිටීම
නින්ද නොයෑම
අවධානය එකදිගට පවත්වාගෙන යෑමට නොහැකිවීම
කායික ගැටලු උග්‍ර වීම (සීනි, රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යෑම)
වෙනදාට වඩා මත්පැන් හෝ දුම්වැටි භාවිතයට යොමු වීම
ළමුන් තුළ මෙම අවස්ථාවේ මතුවිය හැකි ආතතිමය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කළහොත් එය ඔවුන්ට තමන්ගේ පාසල් පරිසරය අහිමි වීම, මිතුරු ඇසුර අහිමි වීම, සෙල්ලම් කිරීම වැනි ඔවුන්ගේ පුරුදු ක්‍රියාකාරකම් අහිමි වීම නිසා සිදුවන්නක් බව දැක්විය හැකියි. ඔවුන්ගේ වයස අනුව මෙම තත්ත්වය පෙන්නුම් කිරීම් විවිධ විය හැකියි.
ඇතැම් දරුවන් මේ අවස්ථාවේ කියන දෙයක් තමයි “පිස්සු හැදිලා ඉන්නේ”, “එපාවෙලා ඉන්නේ” වගේ දේවල්. මේ කාලයේදී ඔවුන් වෙනදා වගේ තමන්ගේ ඇඳේ ඇතිරිල්ලවත් සකස් කිරීමට යොමු වෙන්නේ නැති තත්ත්ව තිබෙන්නට පුළුවන්. ඉතාම කනස්සලු ස්වභාවය, අධික ලෙස දුරකථනයට ඇබ්බැහි වූ ස්වභාවයක් පෙන්නුම් කිරීම, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවකට අනුගත වීමට යෑම, අධික නින්ද, තමන්ගේ පාඩම් කටයුතු වෙනදා මෙන් නොකිරීම, එදිනෙදා කළ අධ්‍යාපන කටයුතුවලින් සම්පූර්ණයෙන් ඉවත් වීම හා දෙමවුපියන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් නොදීම වැනි ආතතිමය ලක්ෂණ මෙම අවස්ථාවේ දරුවන් තුළින් පෙන්නුම් කළ හැකියි. ඒ වගේම යම් දෙයකට එකදිගට අවධානය යොමු කිරීමට නොහැකි වීම. නිතර සිදුකළ ක්‍රියා කාරකම්වලින් බැහැර වීම, හිසරදය, ශරීර ආබාධ වැඩි වීම වැනි ලක්ෂණ මතුවිය හැකියි.
තරුණ හා නව යෞවනයන් මෙම ආතතිමය තත්ත්ව යටතේ දුම්කොළ හා මත්පැන්වලට යොමු වීමට ඇති හැකියාව ඉතා වැඩියි. විශේෂයෙන් නිවසේ පියා මත්පැන් හෝ දුම්වැටි ගෙනැවිත් තබාගෙන තිබෙනවා නම් ඒවා අත්හදා බැලීමට යොමුවන තරුණ පිරිස මෙම අවස්ථාවේ වැඩි වීමට හැකියාවක් පවතිනවා. එය සිදුවන්නේ පවතින ආතතිමය තත්ත්ව මතයි.
මෙම තත්ත්ව සැලකිල්ලට ගෙන මෙම පීඩා අවස්ථාවේ අවශ්‍යතා හා හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එසේනම් අපි මෙම ආතතිය හා පීඩනය, භීතිය කියන දේවල් සමනය කරගෙන, මේ අවස්ථාවේ වඩා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට සිදුකළ හැකි දේවල් මොනවාද කියන දේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
■ අධික ලෙස ප්රවෘත්ති පරිභෝජනය
එනම් මේ අවස්ථාවේ අධික ලෙස ප්රවෘත්ති ඇසීම හෝ බැලීමත් අපගේ කනස්සල්ල වැඩි කිරීමට හේතු වෙනවා. තරුණ අය නිතරම ජංගම දුරකථනය හරහාත්, වැඩිහිටියන් නිතරම රූපවාහිනිය හරහාත්, වයෝවෘද්ධ අය ගුවන් විදුලිය හරහාත් නිතරම කොරෝනා පිළිබඳව තොරතුරු පරිභෝජනය කිරීමට යොමු වෙලා තිබෙනවා. මෙය මානසික සෞඛ්‍යයට මේ අවස්ථාවේදී අහිතකර දෙයක් ලෙස දක්වන්නට පුළුවන්. “සමාජය හරහා ව්‍යාප්ත වන කොරෝනා වෛරසය නවත්වන්න අපිට බැහැ. නමුත් 24 පැයේදී ඔබට එන කොරෝනා තොරතුරු පාලනය කරන්නත්, කළමනාකරණය කරන්නත් අපිට පුළුවන්” යනුවෙන් ‘මික් ආරෝල්’ නමැති මනෝ විද්‍යාඥවරයා මෙම අවස්ථාවේ අදහස් දක්වා තිබෙනවා. එසේම අපි කොරෝනා සම්බන්ධ පුවත් නැරඹීමට යොදාගත යුත්තේ දිවා කාලයයි. එහිදීත් විශ්වාසදායී ප්‍රවෘති මූලාශ්‍ර භාවිත කිරීමට යොමු විය යුතුයි.
■ දුරකථනයට හා රූපවාහිනියට ඇබ්බැහි වීම
තරුණ අය මේ වෙලාවේ දුරකථනය හරහා හෝ රූපවාහිනිය හරහා නිරන්තරයෙන් අලුත් තොරතුරු සෙවීමත්, ඒවා පවුලේ අය සමග බෙදාහැරීමත්, නැවත දුරකථනයේ තොරතුරු සෙවීමත් සිදුකරනවා. මෙලෙස එකම ක්රියාවේ වැඩි වේලාවක් යොමුවීම හේතුවෙන් ඇබ්බැහිමය තත්ත්වයකට ගොදුරු විය හැකියි. ආතතිමය තත්ත්වය හේතුවෙන් ‘ඇඩ්රිනීල්’ හා ‘කෝටිසෝල්’ හෝමෝන ශ්‍රාවය ඉහළ යෑම මත අපි තව තවත් ආතතියට පත්වෙනවා.
■ සංඛ්‍යා ලේඛන තොරතුරු මත කනස්සල්ලට පත්වීම
මේ අවස්ථාවේ සංඛ්‍යා දත්ත මත පදනම් නොවී තනි තනිව තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට උත්සහ දැරිය යුතුයි.
■ සිතුවිලි හා හැඟීම් පාලනය කිරීම
අත්සේදීම හෝ වෙනත් ලබා දී ඇති සෞඛ්‍යමය උපදෙස් වගේම, රටේ පනවා ඇති නීතිරීතිවලට අනුගත වීම හොඳ සිහියෙන් යුතුව, නැතිනම් එළඹ සිහියෙන් යුතුව සිදුකිරීම මේ අවස්ථාවේ ඉතාමත්ම අවශ්‍ය වෙනවා. එයින් අපේ සිතුවිලි හා හැඟීම් ක්‍රමානුකූලව හා නිවැරදි ආකාරයෙන් පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙනවා. එනම් අපේ අවධානය එක තැනක පවත්වා ගැනීමේ හැකියාවක් අපට ඒ හරහා ලැබෙනවා. ඕනෑම නිලයක, ඕනෑම ඉහළ තලයක සිටින අයෙකු මෙම රෝගයට ලක්විය හැකියි යන සිතුවිල්ල අපි තුළ පවත්වාගෙන සිහියෙන් කටයුතු කිරීමෙන්, ආතතිය යම්තාක් දුරට පාලනය කරගත හැකියි. එසේම නීතිරීතිවලට අනුගත වීම තුළ අපගේ Common Sense කියන දෙය වර්ධනය කරගත හැකියි.
■ විනෝදය
ආර්ථික හා තරගකාරී ලෝකය තුළ මේ දක්වා ඔබට ඔබ අහිමි වී ගිය ජීවිතයක් ගතකළ අයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා මෙසේ පිටතට යෑමට නොහැකි අවස්ථාවක තමන්ගේ අභ්‍යන්තරය තුළට ගමන් කිරීම ඉතා වැදගත් වෙනවා. මෙම කාලය තුළ තමන්ගේ පවුලේ අය සමග විනෝද වීමට කාලය වෙන් කරගන්න. කැමැති ආහාරයක් සකස් කර රස විඳින්න. කැමති චිත්‍රපටයක් නරඹන්න.ඇතිතරම් නින්දක් ලබාගන්න. රිද්මයානුකූල සංගීතයකට අනුව චලනය වෙන්න.
ඉතාලිය හා වෙනත් රටවල්වල මේ අවස්ථාවේ පවුලේ සාමාජිකයන් එකතු වෙලා සින්දු කියන වීඩියෝ පට අපි දකිනවා. මේවා අපිට අවශ්‍යයි. අපි මෙතෙක් කල් කළේ නිවසෙන් බාහිර පුද්ගලයන් සමග අපගේ සම්බන්ධතා ඇතිකර ගනිමින් පවුල තුළ සම්බන්ධතාවලින් දුරස් වීමයි. මේ අවස්ථාවේ අපි සිදුකළ යුත්තේ පවුලේ සාමාජිකයන් සමග එකතු වී පවුලේ සබඳතා වැඩි දියුණු කර ගැනීමයි.
■ සන්නිවේදනයේ යෙදීම
මිනිසා යනු සමාජ සත්ත්වයෙක්. මේ සමාජයෙන් ගිලිහීම නිසයි අපට මෙම ආතතිමය තත්ත්වය වැඩි වෙන්නේ. ඒ නිසා ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය පවසන්නේ දිනකට අවම තරමේ සිවු දෙනෙකු සමගවත් සන්නිවේදනයේ යෙදීම අවශ්‍ය බවයි. තාක්ෂණය හා සන්නිවේදනය දියුණු නිසා ඔබට මෙම අවස්ථාවේදී මගහැරුණු මිතුරන් ඇමතීම, විදේශගත ඥාතීන් ඇමතීම මගින් මෙම ආතතිමය තත්ත්වය මගහරවාගත හැකියි. ඒ අනුව මුහුණට මුහුණ හමු නොවී අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ කතා බහක් සිදුකිරීම මගින් සමාජයෙන් බැහැර වීම හේතුවෙන් ඇතිවන ආතතිය මගහරවාගත හැකියි.
පිරිමින්ගේ රංචු ලැදියාව කාන්තාවන්ට වඩා වැඩියි. ඒ නිසා මෙම සමාජයෙන් බැහැර වීම මත වැඩි වශයෙන් ආතතියට ලක්වන පිරිසක් ලෙස පුරුෂ පක්ෂය හඳුන්වා දිය හැකියි. ඒ නිසා ඒ පිළිබඳ වැඩි අවධානය යොමු කළ යුතුයි. ඇඳිරි නීති කාල සීමාව තුළ නිවසෙන් පිටතට යෑම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති පිරිසෙන් 99%ක්ම පිරිමින්. එයට හේතු වී ඇත්තේ ඔවුන්ගේ රංචු ලැදියාව වැඩි වීමයි.
■ වීරත්වය ප්‍රදර්ශනය
මෙවැනි අවස්ථාවක නීති කඩකරමින් එළියට බැහැලා යන එක වීරත්වය ප්‍රදර්ශනය කිරීමක් නොවන බව අවබෝධ කරගත යුතුයි. මෙවැනි අයුරෙන් කටයුතු කරන අය තුළ පවතිනුයේ පෞරුෂමය ගැටලු ඇති බවයි.
■ ආහාර හා නින්ද
ප්‍රතිශක්තිය වර්ධනය සඳහා මෙම අවස්ථාවේ ඉතා හොඳ නින්දක් හා සෞඛ්‍ය සම්පන්න ආහාර අවශ්‍ය වෙනවා. මෙම කාලය තුළ සිත හා කය දෙකම යාවත්කාලීන කරගැනීම සිදුකළ යුතුයි. රාත්‍රී නින්දට පැයකට හෝ දෙකකට පෙර දුරකථනයෙන් ඈත්වීම සිදුකිරීමට මෙහිදී මතක තබාගත යුතුයි. විශේෂයෙන් නින්දට පෙර දුරකථනය හරහා තොරතුරු විමසීමට යෑමෙන් නින්ද අහිමිව යන තත්ත්වයක් මතුවිය හැකියි.
■ මත්ද්‍රව්‍ය පුරුදු
මෙවැනි අවස්ථාවක නිවසෙන් පිටතට යෑමට නොහැකිවීම හේතුවෙන් මත්දුව්‍ය හා මත්පැන්වලට හුරු වූ අයට එම ඇබ්බැහියෙන් මිදීමේ හැකියාවක් තිබෙනවා. එසේ නොමැතිව මේවා සොයා ගොස් නීතියට හසු වී, කරදරයෙන් තවත් කරදරයට පත්වීම සිදුනොවිය යුතුයි. මේ කාලයේදී උපදේශන සේවා හරහා ඔබේ ඇබ්බැහිකම් හේතුවෙන් ඇතිව තිබෙන ගැටලු නිරාකරණය කරගත හැකියි. ඒ උදෙසා 0710301301 දුරකථන අංකය ඇමතීම මගින් නොමිලයේ මෙන්ම 100% රහසිගත අයුරෙන් උපදේශනය ලබා ගැනීමට අවස්ථාව අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලය මගින් සලස්වා දී තිබෙනවා.
■ ග්‍රස්ථිය OCD ඇති අය
විෂබීජ හරණයට අත් සේදීම සිදුකරන්නට උපදෙස් දීම ග්‍රස්ථිය ඇති රෝගියෙකුට බලපාන ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත්. මන්දයත් ග්‍රස්ථිය යන රෝගයේ රෝග ලක්ෂණයක් වන්නේ නිතර අත් සේදීමයි. ඒ නිසා එවැනි රෝගයක් පවතින අයෙකු බියට හා කනස්සල්ලට මේ අවස්ථාවේදී පත්විය හැකියි. ඒ අනුව ඔවුන්ගේ ගැටලුකාරී තත්ත්ව උග්‍රවිය හැකියි. එබැවින් නිවසේ සිටින විට නිතර අත සේදීම අවශ්‍ය නොවන බවත්, නිවසෙන් පිටතට ගොස් ආ විට පමණක් අත සේදීම ප්‍රමාණවත් බවත් මෙහිදී වටහා ගැනීම අවශ්‍යයි.
■ කාන්තාවන් මුහුණ දෙන ගැටලු
කාන්තාවන්ට වැඩ අධික ස්වභාවයක් මේ කාලය තුළදී ඇතිවිය හැකි බැවින් ඔවුන් පහසුවෙන් ආතතියට ලක්විය හැකියි. ඒ නිසා සංගීතයට සවන් දීම, චිත්‍ර ඇඳීම, හොඳ චිත්‍රපටයක් නැරඹීම, අලුත් කෑම වර්ග සෑදීම, වැනි දේ සිදුකළ හැකියි.
■ ගැඹුරු හුස්ම
ආතතිය පාලනයට ඕනෑම කෙනෙකුට සිදුකළ හැකි සරල දෙයක් වන්නේ ගැඹුරු හුස්මක් ගෙන පිට කිරීමයි. සිහිය ඇතිව හොඳ හුස්මක් ගෙන තත්ත්පර කිහිපයක් රඳවාගෙන හුස්ම සෙමින් පහත හෙලීම සිදුකළ හැකියි. ඒ හරහා පෙනහලුවලට ඔක්සිජන් හොඳින් ඇතුළු වී හෘදයේ ක්‍රියාකාරීත්වය වර්ධනය කෙරෙනවා. මෙලෙස අවබෝධයෙන් දවසට කිහිපවරක් හුස්ම ගැනීම හා පිට කිරීම මගින් ආතතිය පාලනය කරගත හැකියි.
■ ධනාත්මක බව
ධනාත්මක අය තමයි ලෝකය වෙනස් කිරීමට දායක වී තිබෙන්නේ. ඒ නිසා මෙම අවස්ථාවේ මෙම වෛරසය ජය ගැනීමට ධනාත්මකව සිතීම මගින් අපේ ගැටලුවලින් හා ගෝලීය ගැටලුවෙන් මිදීමට හැකියාවක් ලැබෙනු ඇති.
■ ක්‍රියාශීලී වීම
ශරීරය අක්‍රීය ස්වභාවයකට පත්නොකර. පැල සිටුවීම, වත්ත හෝ නිවස පිරිසුදු කිරීම, වැනි ක්‍රියාකාරකම්වල විනාඩි 10ක් වත් යොමු වීම අවශ්‍ය වේ.
■ හැඬීම
හැඬීම තුළින් අපගේ ආතතිමය තත්ත්ව අඩු කරගත හැකිය. ප්රශ්නවලදී හඬන්න එපා යනුවෙන් බොහෝ දෙනා උපදෙස් දුන්නද, ආතතිමය තත්ත්වවලින් මිඳීමට හොඳම ක්‍රමයක් වන්නේ හැඬීමයි. කදුළු එළියට එන ලෙස හැඬීමෙන් අපගේ මනස සැහැල්ලු වීමක් සිදුවෙනවා වගේම, ඒ ගැටලුවෙන් එළියට ඒමට හැකියි. වැඩිහිටියන් ලෙස හැඬීමට ලැජ්ජා නම් කොට්ටය බදාගෙන හැඬීම හෝ නාන කාමරයට ගොස් හැඬීම මගින් හිර කරගෙන සිටින ආතතිය පිට කිරීමට හැකියාවක් ලැබෙනවා.
■ ආදරය
පවුලේ අය සමග ආදරයෙන් සිටීම මගින්, ආදරය පැතිරවීම මගින් ආතතිය මගහරවා ගත හැකියි. මෙම අවස්ථාවේ ආදරය පතුරවන දෑ අපිට සමාජයට මුදා හැරිය හැකියි. නිවසේ නිතරම ආදරබර කතාබහ පවත්වා ගැනීම මගින් මේ කාලයේ අපිට මානසික ආතතිමය තත්ත්ව මගහරවාගෙන ජීවිතය සමබර කර ගැනීමට හැකියාවක් ලබා දෙනු ඇති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd