ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් එරට ඉහළ පෙළේ ආරක්ෂක උපදේශකයන් සමග පැවති හමුවකදී ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉවත් කරන ලෙස නියෝග කර ඇති අතර, ඒ සඳහා විශේෂ භට කණ්ඩායමක් රට වෙත යවන බව වාර්තා වෙයි.
නොසිතූ ලෙස වේගවත්ව ඇෆ්ගනිස්තානයේ නගර හා පළාත් එකිනෙක තලේබාන් සංවිධානය අතට පත්වෙමින් ඇති පසුබිමක, එක්සත් ජනපදය අද (12දා) තීරණය කළේ කාබුල්හි පිහිටි සිය තානාපති කාර්යාලය වසා දමමින්, එහි කාර්ය මණ්ඩල නැවත සිය රට කැඳවා ගැනීමටය.
මෙසේ සිය තානාපති කාර්ය මණ්ඩලය මුදා ගනිමින් ඔවුන් නිරුපද්‍රිතව යළිත් ඇමෙරිකාව වෙත ගෙන්වා ගැනීම සඳහා තාවකාලිකව සොල්දාදුවන් 3,000ක් ඇෆ්ගනිස්තානය වෙත ගොඩබැස්වීමට ඔවුන් සූදානම් වෙයි.
වසර 20කට ආසන්න කාලයක් ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි ඇමෙරිකානු සෙබලුන් මෙන්ම විදෙස් හමුදා එරටින් ඉවත්වීමත් සමග මේ ආකාරයෙන් තලේබාන් සංවිධානය දැඩිව සිය ග්‍රහණය නතුකර ගනිමින් සිටින අතර, ඔවුන් පරාජය කිරීමට ඇෆ්ගන් ආරක්ෂක අංශ සමත්වෙනු ඇතැයි ඇමෙරිකාව තබා තිබූ බලපොරොත්තු සුනුවිසුණු වෙමින් පවතින පසුබිමක මෙසේ තම තානාපති කාර්යාලයද ඉවත් කර ගැනීමට යුහුසුළු වෙමින් ඇත.
තානාපති කාර්යාලයේ සේවයේ නියුතු වූවන් ආරක්ෂිතව තබා ගන්නේ කෙසේද යන්න දැන ගැනීම සඳහා අපි සෑම දිනකම ආරක්ෂක තත්ත්වය තක්සේරු කරමින් සිටි බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් පැවසීය.