මදුවලට හසුකර හා වෙඩි තබා කඳුකර කොටියන් මරා දැමීමේ සිදුවීම් 10ක් මෙම වසරේ ගෙවීගිය මාස නවය තුලදී සිදුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති.
මෙම වසරේ ජනවාරි මස 03 දින යටියන්තොට, අප්‍රේල් 02 දින නාවලපිටිය, අප්‍රේල් 18 මස්කෙළිය, මැයි 26 ලක්ෂපාන, ජුනි 02 දින නෙලුව, ජුනි 23 පුස්සැල්ලාව, හෙල්බොඩ, ජුලී 20 නාවලපිටිය, මාපාකන්ද, අගෝස්තු 23 ගම්පොල, දොළුව, සැප්තැම්බර් 21 මස්කෙළිය, බ්‍රවුන්ලෝ සහ සැප්තැම්බර් 25 උඩදුම්බර, කළල්ගමුව ආදී ප්‍රදේශ ආශ්‍රීතව මෙසේ කඳුකර කොටියන් මදුවලට හසුව හා වෙඩි තබා මරා දමා තිබුණු බවද ඔවුහු කියති.
මස්කෙළිය, බ්‍රවුන්ලෝ වත්තේදී හිසට වෙඩි තබා ඝාතනය කොට තිබියදී පසුගිය 21 දින සොයා ගනු ලැබු කඳුකර කොටි දේනුව සහ උඩදුම්බර, කළල්ගමුව, මිනිවන්ගමුව කැළැවේ සැරිසරන ලද කඳුකර කොටියෙකු මදුවකට හසුකර පසුව ඉතාමත් අමානුෂික ලෙස කපා කොටා මරා මස් අලෙවි කරමින් සිටියදී උඩදුම්බර පොලීසියට පසුගිය 25 දින හසුවීම මෙහි ආසන්නම සිදුවීම් බව එම නියෝජිතයෝ පෙන්වා දෙති.
පසුගිය ජුනි මස 23 දිනයේදී කඳුකර කොටියන් දෙදෙනෙකු හෙල්බොඩ වතුයායේදී එකම ස්ථානයේදී මදු දෙකකට හසුව සිටි බවත්, ඉන් එක කොටියෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්ව සිටි බවද අනෙකා බේරා ගැනීමට වනජීවී නිලධාරීන් පියවර ගෙන තිබු බවද ඔවුන් සඳහන් කරති.
ලක්ෂපාන, වාලමලෙයි ප්‍රදේශයේදී මදුවකට හසුව ඉතාමත් අවාසනාවන්ත ලෙස මරණයට පත්වුයේ මෙරට ඉතාමත් දුර්ලභ කඳුකර කළු කොටියෙකු බවද එම නියෝජිතයෝ පවසති.
ගිනිගත්හේන හා දික්ඔය ප්‍රදේශවලදී තවත් කොටියන් දෙදෙනෙකු මදුවලට හසුව ඇති බවත් ඔවුන්ගේ දිවි බේරා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වු බවද එම සංගම් නියෝජිතයෝ පෙන්වා දෙති.
මෙරටට ආවේණික වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින ශ්‍රී ලංකා කොටියන් මෙවැනි ආකාරයෙන් මියයාම තුලින් එම සතුන් ඉතාමත් කෙටි කාලයකින් මෙරටින් තුරන්ව යාමට ඉඩකඩ නිර්මාණය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.
සතුන් දඩයම් කරගැනීමේ හා ගොවි බිම් වනසතුන්ගෙන් ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ඇතැම් පිරිස් මෙසේ මදු අටවන බවත් වනජීවී නිලධාරීන් විසින් අටවා තිබු එවැනි සත්ත්ව මර උගුල් ගැලවීමේ මෙහෙයුමක් පසුගිය දිනවල ආරම්භ කොට තිබු බවත් එය අගේ කලයුතු කරුණක් බවද එම නියෝජිතයෝ පවසති.
මදු හා උගුල් අටවන පුද්ගලයන් නීතියේ රැහැනට හසුකර ඔවුන්ට දැඩි දඩුවම් ලබාදීමටත්, එමෙන්ම විශේෂයෙන්ම මෙරට සිටින කොටියන්, හඳුන් දිවියන්, කොළ දිවියන් ඇතුළු අනෙකුත් සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ වගකියයුතු ආයතනයන්ගේ අවධානය කඩිනමින් යොමු විය යුතුව ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ වැඩිදුරටත් පවසති.