කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළට ගේන්න සැලසුම් ඉදිරිපත් කරද්දි සිය ප්‍රතිවාදියා හා ඔහුගේ කණ්ඩායම ඊට විරුද්ධ වන්නේ මන්දැයි ජනතාවට පිළිතුරු දිය යුතු බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
හාරිස්පත්තුවේ පැවැති ජනරැළියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
එහිදි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ මෙවැන්නකි,
"සුළු අපනයන භෝගවන සාදික්කා, කරාඹුනැටි, ගම්මිරිස් වගාවන්වලින් තමයි මේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ජිවිකාව කරගෙන යන්නේ. අපේ රටේ හැම භෝගයකටම අපේ රටේ ආයතන දෙපාර්තමේන්තු තිබුණත් සුළු අපනයන භෝග සඳහා අපේ රටේ ඒකට රාජ්‍ය ආයතනයක් නැහැ. ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග ලංකාවේ සුළු අපනයන භෝගවගාකරුවන් වෙනුවෙන් වෙනමම අධිකාරියක් පිහිටුවනවා. ගම්මිරිස්, සාදික්කා, කරාඹු නැටි වැනි භෝගවලට සහතික මිලක් ලබාදීලා මේ කර්මාන්ත කරගෙන යන සියලු දෙනාගේ ජන ජීවිතය ශක්තිමත් කරනවා.
කෘෂිකර්මාන්තයේදි සුළු අපනයන භෝගවගාව ගත්විට වැදගත් පණිවුඩයක් ගොවින්ට දෙන්න තිබෙනවා. අපි අපේ රටේ කෘෂිකර්මාන්තයට ඉතිහාසයේ පළමු වතාවට දැවැන්තම ජාතික වැඩසටහන ආරම්භ කරනවා. එමඟින් රටේ ආහාර නිෂ්පාදනය ඉහළට ගන්නවා. රටේ ආහාර අවශ්‍යතාවය අපේ රටේ ගොවි පරපුරෙන් පමණක් සපයා ගන්නට අපි සැලසුම් සකස් කරනවා. පිටරටින් අපට බවභෝග ආනයනය කරන්න අවශ්‍ය නැහැ. අපේ රට තුළින්ම දේශිය ඉල්ලුමට සැපයුම සකසන්න අපට පුළුවන්. ඉන් නතර නොවි අතිරික්තය අපට පිටරට යවන්න පුළුවන්.
මෙරට ඉතිහාසයේ කිසිම දවසක මහා වගා ව්‍යාපෘතියක් වෙනුවෙන් නොමිලේ පොහොර දීලා නැහැ. නමුත් අපි ඒ යුතුකම ඉටු කරනවා. යුතුකම ඉටු කරන්නේ රටේ ජාතික ආහාර විප්ලවයක් ක්‍රියාත්මක කරන්නයි.
ජනාධිපතිවරයා ලෙස මා වගකිම් භාරගත්තාට පසු මේ තිබෙන්නාවූ සීමාවන් ලිහිල් කරලා පරිසරයට අහිතක් නොවන ලෙස හානියක් නොවන ලෙස කළුගල් කර්මාන්තයත් රතිඥ්ඤා කර්මාන්තයත් නගා සිටුවන්න කටයුතු කරනවා.
මගේ අත්දැක්ම් මත ජනතාව සමග නිරන්තරයෙන් ජිවත් වූ පුද්ගයෙකු ලෙස පොඩි මිනිසාගේ දුක කඳුළ වේදනවා මම දන්නවා. පොඩි මිනහගේ දාඩිය සුවඳ මම දන්නවා. මෙරට සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගෙන ඉතා වැදගත් ඓතිහාසික ප්‍රතිපත්ති මාලවක් ඉදිරිපත් කරන්න මට හැකි වුණා.
මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලනවිට ජනතාවට තේරෙයි මා ඉදිරිපත් කරන වැඩසටහන මොකක්ද කියලා. රටේ දුප්පත්කම නැති කරන සමෘද්ධි ව්‍යාපාරය තවදුරටත් ශක්තිමත් කොට ඊට වැඩි වැඩියෙන් ප්‍රතිපාදන වෙන් කරනවා. සැමදා අප දුප්පත්කම ගැන කතා කර කර ඉදලා වැඩක් නැහැ. දුප්පත්කමින් මිදෙන්න ශක්තිමත් කෙටිකාලින විසඳුමක් අවශ්‍යයි.
කාන්තා ප්රඥප්තිය තුළ කාන්තා පරපුරේ ආර්ථික සමාජීය දේශපාලන අයිතිවාසිකම් මෙන්ම කාන්තාවට ලබාදියුතු සැලකිල්ල ශක්තිය සියල්ලක්ම ඇතුළත් වෙලා තියෙනවා. මෙරට දරු පරපුර රැකගන්නේ කාන්තාවනුයි. කාන්තාව අරපිරිමැස්මෙන් ගෘහයේ ආර්ථිකය කළමනාකරණය කරගෙන මෙරට ජිවය ප්‍රාණය බවට පත්ව සිටිනවා.
ඇගළුම් කර්මාන්ත ක්ෂේත්රයේ රැකියා කරන කාන්තාවන්ගේ නිෂ්පාදන පිටරට යවලා විදේශ විනිමය අතිවිශාල ප්‍රමාණයක් මෙරටට ගේනවා. මැද පෙරදිග හා අනෙක් රටවල විදේශ සේවයට යන සහෝදරියන් මවුවරුන් තමයි අපේ රටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන්නේ. එම නිසා තමයි මම කාන්තා පරපුර වෙනුවෙන් වෙනම ප්රඥප්තියක් ක්‍රියාත්මක කරලා එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙන්නේ.
පසුගිය දවසක මම කාන්තා සෞඛ්‍ය ගැන කතාවක් කිව්වා. ඒ සෞඛ්‍ය ප්රශ්නය හේතුවෙන් හරියාකාරව ඒ ආම්පන්න නොමැති නිසා කාන්තාවන්ගේ විශාල පිරිසකට ගැබ්ගෙල පිළිකා හැදෙනවා. වකුගඩු රෝග හැදනවා. ප්‍රජනන පද්ධතියට හානි එල්ල වෙනවා. හිතක් පපුවක් තිබෙන සමාජ සේවකයෙක් ලෙස මේ සංවේදි ප්‍රශ්නයේදි මම තීන්දු කළා අපේ රජය යටතේ නොමිලේ කාන්තාවන්ගේ සනිපාරක්ෂක අවශ්‍යතා නොමිලේ දෙන්න.
මොකක්ද අපේ ප්‍රතිවාදියෝ කිව්වේ. මගේ ප්‍රතිවාදියෝ මට මඩ ගහන්න පටන් ගත්තා. ඇයි මට මඩගහන්න පටන් ගත්තේ. මට මඩ ගහන්නේ 51.8% ක් වන කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකාවට විසඳුමක් දෙන්න හදපු නිසා. වකුගඩු රෝගයට විසඳුමක් දෙන්න හදපු නිසා. ප්‍රජනන සෞඛ්‍ය පද්ධතියට වැළදෙන රෝග වලක්වන්නට මම යෝජනාවක් ඉදිරිපත් කරපු නිසායි.
කාන්තා පරපුරේ ආයුෂ වැඩි කරනවාට මගේ ප්‍රතිවාදියා විරුද්ධද කාන්තාවන්ගේ සෞඛ්‍යමය තත්ත්වය ඉහළට ගේන්න හදනකොට ඇයි මගේ ප්‍රතිවාදියාගේ පොහොට්ටු කණ්ඩායම් ඒවට විරුද්ධව කතා කරන්නේ. මේවට උත්තර ඒ අය ජනතාවට දිය යුතුයි" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.