කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඊ.එම්. හේමපාල ඒකනායක මහතා පදිංචි , කඩුවෙල කොතලාවල ප්‍රදේශයේ නිවසට ගිනි තබා අනතුරක් සිදු කිරීමට තැත් කළ , පුද්ගලයන් දෙදෙනා, ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ,මංජුල රත්නායක මහතා ( 14 )දා නියෝග කළේය.
එසේම සැකකරුවන් දෙදෙනා එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූවේ කඩුවෙල කොතලාවල පුර, පදිංචි බී . ඩී උදයශාන්ත (51) සහ බත්තරමුල්ල තලංගම දකුණ අරුකපිටිය පදිංචි වයි.ඒ, ඩී ,කිත්සිරි (47) යන දෙදෙනාය.
මෙම සැකකරුවන් දෙදෙනා ඉකුත් සැප්තැම්බර් මස 17 වන දින මහේස්ත්‍රාත්වරයා පදිංචි කොතලාවල , විහාර මාවතේ,පිහිටි නිවස අසලට පැමිණ, පෙට්‍රල් පිරවූ ප්ලාස්ටික් බඳුනක් නිවස දෙසට විසි කොට පසුව ගිනි දැල් වූ පන්දමක් ඒ දෙසට වීසිකර මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පලා ගොස් තිබුණි.
එහෙත් ගිනි දැල්වූ පන්දම වෙනත් ස්ථානයකට පතිත වීම නිසා සිදු වන්නට ගිය මහා විනාශයක් වැළකි ගිය බව අනාවරණ වී තිබුණි .
පසුව මේ සම්බන්ධයෙන් නවගමුව පොලිසියෙන් හා කොළඹ අපරාධ කොට්ඨාසයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි .
ඒ අනුව සැකකරුවන් දෙදෙනා (14) දා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී එහි නීතිඥවරුන් කිසිවකු හෝ සැකකරුවන් වෙනුවෙන් පෙනී නොසිටීම විශේෂත්වයක් විය .
ඒ අනුව පිටතින් පැමිණි නීතිඥවරයෙකු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් අදාළ සිද්ධිය කිසිවකුත් ඝාතනය කිරීමේ චේතනාවෙන් සිදු නොකළ බවත් එය හුදෙක් බිය වැද්දීම වෙනුවෙන් සිදු කළ එකක් බවත් මෙම නඩුව ඉතා ඉක්මනින් අවසන් කර දෙන ලෙස ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ කියා සිටියේය .
පසුව සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් දෙදෙනා ලබන 28 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් එදිනට ඔවුන් හඳුනා හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා යොමු කරන ලෙසත් නියෝග කළේය.