ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වලට ඇතුළත් කරගැනීමේ කඩඉම් ලකුණු අසාමාන්‍ය ලෙස ඉහළ යෑම නිසා බොහෝ දක්ෂයන්ට හොඳ පාසලක් ලැබීමේ අවස්ථාව අහිමි වී ගොස් ඇතැයි ලංකා ගුරු සංගමය සඳහන් කරයි.
කිසිදු ක්‍රමවේදයක් නොමැතිව නීතිවිරෝධී ලෙස පහ ශ්‍රේණියට, හතර ශ්‍රේණියට සහ තුන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.
මේ වසර තුළදී පමණක් ජනප්‍රිය හා ජාත්‍යන්තර පාසල්වල අතරමැදි පන්තිවලට ළමයින් 730ක් ඇතුළත් කර තිබෙන බවත්, එක්තරා පාසලකට පාසල් නිවාඩු ලබාදෙන දිනයේදී පළමු වසරට ළමයින් ඇතුළත් කරගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙවැනි ජාවාරම් ක්‍රියා නිසා දුෂ්කර ප්‍ර‘දේශවල ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබෙන බවත්, මේ පිළිබඳ ජනාධිපති ලේකම්වරයා සහ අධ්‍යාපන ලේකම්වරයා වහාම පුළුල් පරීක්ෂණයක් ආරම්භ කළයුතු බවත් ඒ මහතා සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගය සඳහා ලබාගත හැකි උපරිම ලකුණු සංඛ්‍යාව 200ක් බවත්, එහෙත් සමහර පාසල්වලට ඇතුළත් වීමට ලකුණු 189, 186 ආදී වශයෙන් විශාල ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සිදුව තිබෙන බවත් කී හෙතෙම මෙය දරුවන්ට සිදුකරන අසාධාරණයක් බවද කියා සිටියේය.
කඩඉම් ලකුණු විශාල ලෙස ඉහළ දමා තිබෙන්නේ පාසලකට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය ප්‍රමාණය සීමා කිරීමට බවත්, මේ නිසා මේ පිළිබඳ වගකිවයුතු බලධාරීන් පුළුල් පරීක්ෂණයක් සිදුකර, අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවත් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.