කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද (16දා) අලුයම පැවැති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරි කළමනාකාරවරයා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානය, කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දින අලුයම 4.35ට ගොඩ බැස්සවීමට පැමිණියද අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50ට ගොඩ බස්සවා තිබේ .
පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව , උදෑසන 7.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එම ගුවන් යානය A- 330 එයාර් බස් වර්ගයේ යානයකි.
ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සිට අලුයම 5.35ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 142 දරන ගුවන් යානයද අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත අලුයම 6.00ට ගොඩ බස්වා තිබුණි .
පසුව එම යානයද කටුනායක ගුවන් තොටුපොළ අවට කාලගුණික තත්ත්වය යහපත් වූ පසු , උදෑසන 7.20ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත් වී උදෑසන 7.40ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම යානය A-320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයකි.
මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මෙම ගුවන් යානා තුළින් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්සවා නොතිබුණි.
ටී.කේ.ජී. කපිල
