කටුගස්තොට ආර්ථිකයට ලැබෙන එළවළු අඩු වී මිළ ඉහළ යයි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් උඩරට එළවළු නිෂ්පාදනය විශාල වශයෙන් පහත වැටීම නිසා කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය වෙත දෛනිකව ලැබෙන එළවළු ප්‍රමාණය සියයට 50 කට වඩා අඩු වී ඇති බව කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමය කියයි.
එම සංගමයේ සභාපති ඩී.එන්. සිල්වා මහතා සඳහන් කළේ, පවතින අධික වැසි හේතුවෙන් උඩරට එළවළු ආර්ථික මධ්‍යස්ථානයට ලැබීම සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් අඩු වී ඇති බවත් එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ තොග වෙළඳ සංගමයේ සභාපති ඩි.එන්. සිල්වා මහතා මෙසේද කීය.
කාලගුණය නිසා උඩරට එළවළු ගොඩක් විනාශ වෙලා තියෙන්නේ. දැන් මිල වැඩියි. ඉදිරියට මීටත් වඩා මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේ උත්සව කාලය ළං වෙන කොට හැම අවුරුද්දෙම එළවළු මිල ඉහළ යනවා නමුත් මේ අවුරුද්දේ කාලගුණය නිසා ඒක වැඩි වුණා වගේම ඉක්මන් වුණා.
මේ වන විට ගෝවා රුපියල් 500 ක් කැරට් 500 ක් බෝංචි 600 යි. ලීක්ස් 350 යි. අමු මිරිස් 400 යි තක්කාලි 600 යි උඩරට එළවළුවල මේ වගේ වැඩි වීමක් තියෙනවා.ඉදිරියේ උත්සව කාලය අවසන් වෙනකම් මේ මිල තියෙනවා යැයිද කීය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳ සංගමයේ ලේකම් සමන් වීරසේකර මහතා මෙසේ කීය.
ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අඩු වීම නිසා මිළ ඉහළ ගොස් තියෙනවා. සමහර එළවළු විශාල ලෙස මිළ ඉහළ ගොස් තියෙනවා. මාළු මිරිස් වගේ එළවළු රුපියල් 800 ක් 900 ක් වගේ වෙලා තියෙනවා. දෙහි රුපියල් 1000 කටත් වඩා වැඩි වෙලා තියෙනවා. පවතින වර්ෂාව නිසා මේ තත්වය උදා වී ඇති බවත් සාමාන්‍යයෙන් ආර්ථික මධ්‍යස්ථානයට දිනකට එළවළු කිලෝ ලක්ෂයක් විතර ලැබුණත් මේ වන විට කිලෝ 50000 ක් වත් ලැබෙන්නේ නැති බවත් ඒ මහතා කීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

