තංගල්ල නගරයේ ප්‍රදර්ශනය කළැයි කියන කටවුට් සම්බන්ධයෙන් කළ කතාවක් දුරදිග යාමෙන් අද(25) පැවැති තංගල්ල නගරසභාවේ අගෝස්තු මස සභාවාරයේදී මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය.
තංගල්ල නගරයේ කිසිදු ස්ථානයක පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීම තහනම් කර තිබියදී තංගල්ල නගරයේ දේශපාලන කටවුට් ප්‍රදර්ශනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී චින්තක කැළුම් මහතා සිය විරෝධය ප්‍රකාශ කළේය. මෙම කතාබහ දුරදිග යාමෙන් තංගල්ල නගරසභාවේ මන්ත්‍රීවරුන් අතර උණුසුම් වචන හුමවාරුවක් ඇතිවිය.
චින්තක කැළුම් මහතා (ජවිපෙ) මෙසේ කීවේය.
මම දැඩි විරෝධය ප්‍රකාශ කරනවා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සහ සභාපතිවරයාට. මන්ත්‍රීවරු කොතරම් දුරට ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවාද යන්න ගැන සැකයක් තිබෙනවා. අපි සභාවේ තීන්දුවක් ගත්තා කිසිදු හේතුවකට තංගල්ල නගරයේ කටවුට් ප්‍රදර්ශනය කරන්නේ නැහැ කියලා. සභාවේ තීන්දුව කඩා තිබෙනවා. ජනාධිපතිතුමා ගත් ක්‍රියාමාර්ගයට විරුද්ධව වැඩ කර තිබෙනවා. ජනාධිපතිතුමා ගත් නිවැරදි ක්‍රියාමාර්ගය අගමැතිතුමාගේ මන්ත්‍රීවරු විදියට මේ අය කඩාකප්පල් කර තිබෙනවා. එකම රටක් එක නීතියක් කිව්වාට තංගල්ල නගරසභාවට අමුතු නීතියක්ද තිබෙන්නේ. මන්ත්‍රීවරුන්ගේ අනුග්‍රහයෙන් කියලා තංගල්ල නගරයේ ප්‍රදර්ශනය කර තිබෙන කටවුට් සම්බන්ධයෙන් ජනාධිපතිතුමා , අගමැතිතුමා අනුමත කරනවාද?
ගයාන් සමිද්ද(පො.ජ.පෙ) මහතා මෙසේ කීවේය.
මෙවැනි විරෝධ පාන්න ලැජ්ජාවට පත්ව ඉන්නේ ලංකාව පුරාව ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් පරාජය නිසායි. වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගහන්න එපා. අද ගිහින් බලන්න ලයිට් කණුවල පෝස්ටර් නැද්ද කියලා. කටවුට් එකකින් තංගල්ල නගරය විනාශ වුණේ නැහැ. ප්‍රේමදාස යුගයේදී නගරසභාවට ගිනි තිබ්බේ ඔබතුමාලයි. ඊයේ දවස වෙද්දි කටවුට් ගලවන්න බැරි වුණ එක ගැන මම සභාපතිතුමාගෙන් සමාව ගත්තා. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ගැන මම විරෝධය දක්වනවා. රාජ්‍ය දේපල එදත් විනාශ කළා. අදත් විනාශ කරමින් ඉන්නවා යැයි කීවේය.
සභාපති රවිඳු දිල්ෂාන් වෙදආරච්චි(එ.ජා.ප) මහතා මෙසේ කීවේය.
පිස්සො වගේ කෑ ගහලා ආත්ම ගරුත්වය විනාශ කරගන්න එපා. පෝස්ටර් කටවුට් ගහන එකට මුලින්ම විරුද්ධ වුණේ අපියි. එහෙම අයම ගිහින් පෝස්ටර් ගහන එක වැරැදියි. සියලු මන්ත්‍රීවරුන්ගේ නම දාලා කටවුට් ගහපු එක වැරැදියි. එහෙම කළා කියලා ලොකු මිනිහෙක් වෙන්නේවත් කැපී පේන්නේවත් නැහැ. අපි එක කටවුට් එකක්වත් එක රැස්වීමක්වත් කළේ නැහැ. ප්‍රතිපත්තිවලට ගරු කරලා වැඩ කරන්න. නගරයේ කිසිම තැනක කටවුට් එකක්වත් ගහන්න ලෑස්ති වෙන්න එපා. එහෙම ගැහුවොත් මම නඩු දානවා. සභාපතිවරයා විදියට මට ලැජ්ජයි. සියලු දෙනාගෙන්ම මම සමාව ඉල්ලනවා. වැඩ කරලා ඉස්සරහින් ඉන්න. පැයක කාලයක් දෙන්නම් පොලිසියත් එක්ක ගිහින් සභාවේ සේවකයෝ දාලා ගලවන්න කලින් ඒවා ඉවත් කරන්න යැයි කීවේය.