කටුබැද්ද පොලිස් මාර්ග බාධකය ඉදිරිපිට සුපිරි වෙළඳසැලේ සේප්පුව කපා රුපියල් ලක්ෂ 50ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ පිහිටා තිබෙන සුපිරි වෙළඳසැලේ ඉහළ මහලේ පිහිටා ඇති කළමනාකරුගේ කාර්යාලය තුළ තිබූ සේප්පුව කපා මෙලෙස මුදල් සොරාගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සොරකම සඳහා අද ( 24) අලුයම් කාලයේ පැමිණි පුද්ගලයා සුපිරි වෙළඳසැලේ පිටුපස සුළං කවුළුවෙන් ඇතුල්වී ඉහළ මහලේ කළමනාකරුගේ කාර්යාලය වෙත ගොස් අඩි දෙකහමාරක් පමණ උස අඩි දෙකක් පමණ පළලැති සේප්පුව මුනින් අතට පෙරළා එහි පිටුපස අඟල් පහක් හයක් ප්‍රමාණයක් කපා මෙම මුදල් සොරාගෙන ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළිවී ඇත.
කළමනාකරුගේ කාර්යාලය තුළට පැමිණි සොරකම සඳහා පැමිණි පුද්ගලයා සීසීටීවී කැමරා පද්ධතියේ වයර් සම්බන්ධතා මෙන්ම ඇතුලත පණිවුඩ හුවමාරු සංඥා පද්ධතියේද වයර් සබඳතා කපා විසන්ධි කර ඇති බව ,පොලිසිය කියයි.
සේප්පුව කැපීම සඳහා පැමිණි පුද්ගලයා ග්‍රයින්ඩරය වැනි ආයුධයක් යොදා ගන්නට ඇති බව පොලිසිය සැක කරයි.
සොරකමින් අනතුරුව මුළු කාර්යාලය පුරාම මිරිස් කුඩු ගසා සුපිරි වෙළඳසැලට ඇතුළු සුළං කවුළුවෙන්ම එම පුද්ගලයා පිටවී ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සොරකම සඳහා පැමිණි පුද්ගලයා පැළඳ ගෙන ආ බවට සැකකරන වයි වර්ණයෙන් යුත් බොරු කොණ්ඩයක් සැකකරු සුළං කවුළුවෙන් ,වෙළඳසැලට ඇතුළු වූ ස්ථානයේ ජල කරාමය අසල වැටී තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
එම බොරු කොණ්ඩය ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ අපරාධ මැඩලීමේ නිරත ජෙනි සුනඛයාට ඉව කිරීමෙන් අනතුරුව ,සුනඛයා සුපිරි වෙළඳ සැලේ පිටුපස පිහිටා තිබෙන ආදර්ශ නගර පාර ඔස්සේ දෙවැනි පටුමග හරහා ගොස් රාහුල මාවත ඔස්සේ ආසිරි පෙදෙසට ගොස් නතර වූ බව පොලිසිය කියයි
දෙවෙනි පටුමගේ නිවසක සවි කර තිබෙන සීසීටීවී දර්ශන පරික්ෂා කිරීමේදී අද (24) අලුයම යම් පුද්ගලයෙක් බර දෙයක් දමන ලද බෑගයක් පිටෙහි එල්ලා ගෙන ගමන් කරන අයුරු දක්නට ලැබෙන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ඉකුත් දෙදින තුළ ව්‍යාපාර කටයුතුවලින් ලද මුදල් අද බැංකුවේ තැන්පත් කිරීම සඳහා මුදල් සේප්පුවේ තබා තිබියදී මෙම සොරකම වී තිබූ බව පොලිසිය කියයි.
ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ ,ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පරීක්ෂණ පැවැත්වූහ.