සෞඛ්‍ය නිර්දේශ හා ජාත්‍යන්තර ගුවන්සේවා බලධාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල සියලු මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමෙන් පසු නැවත මෙහෙයුම් ආරම්භ කිරීමේදි කටුනායක ගුවන් තොටුපලේ ක්‍රියාත්මක කළ යුතු වැඩ පිළිවෙල මේ වන විටත් සකස් කර අවසන් බවයි. සෞඛ්‍ය අංශ හා අනෙකුත් අංශ වල එකඟතාවය පළ වූ වහාම ගුවන්තොටුපල සියලු මෙහෙයුම් කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කිරීමට රජය සුදානම් බවද ඔහු පෙන්වා දෙයි.
කටුනායක ගුවන් තොටුපලේ අලුතින් ඉදිකෙරුණු පිටවීමේ මහජන පර්යන්තය සහ කටුනායක ගුවන්තොටුපලට නව ප්‍රවේශ මාර්ගය ඇමතිවරයා අතින් අද විවෘත කිරීමට නියමිතව තිබුණි. මැතිවරණ නීතිය නිසා ඇමතිවරයා ඊට සහභාගී වුයේ නැත. ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඇමතිවරයා උපදෙස් දුන්නේ තමන් නොමැතිව අදාල විවෘත කිරීම සිදු කරන ලෙසයි. එම විවෘත කිරීම අවසන් වූ පසු කටුනායක ගුවන්තොටුපලට පැමිණි ඇමතිවරයා විවෘත කෙරුණ සංවර්ධන ව්‍යාපෘතීන් දෙක නිරීක්ෂණය කළේය.
එහි සිදුවිය යුතු ක්‍රියාකාරකම් පිළිබදවද අදාල නිලධාරීන්ට ඇමතිවරයා උපදෙස් දුන්නේය. කටුනායක ගුවන්තොටුපල පුළුල් කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ නව පිටවීමේ පර්යන්තය ඉදිකිරීමට වැය කෙරුණ මුදල රුපියල් මිලියන 238 කි. ගුවන්තොටුපල නව ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමට වැය වූ මුදල රුපියල් මිලියන 200 කි.
කටුනායක ගුවන්තොටුපලේ වාර්ෂික මගී මෙහෙයුම් සංඛ්‍යාව මිලියන 06 කි. එහෙත් මේ වන විට එය වාර්ෂිකව මගී මෙහෙයුම් මිලියන 12 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා ගුවන්තොටුපල මගී තදබදයක් පවතින අතර ඒ සදහා කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාද විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාටද උපදෙස් දී තිබුණි.
2017 දි ආරම්භ කෙරුණ මෙම මගී පර්යන්තයේ ඉදිකිරීම් අඩාල වී තිබු අතර වත්මන් රජය පත් වීමෙන් පසු ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත් වීමෙන් එහි ඉදිකිරීම් නැවත ආරම්භ විය. මෙම මගී පර්යන්තය ගුවන් මගීන්ට එලිමහන් උද්‍යාන පහසුකම් නව සාප්පු සංකීර්ණයක් ගුවන් සමාගම් වලට කාර්යාල පහසුකම් වලින්ද සමන්විතය.
අද අළුතින් විවෘත කෙරුණු කටුනායක නව ප්‍රවේශ මාර්ගය මීටර් 600 ක් පළල ධාවන පථ 4 කින් සමන්විතය. ව්‍යාපෘතියේ දෙවන අදියරට මේ වන විට ක්‍රියාත්මකයි. ඒ සදහා වැය කෙරුණ මුදල රුපියල් මිලියන 300 කට ආසන්න වේ. එහි ඉදිකිරීම් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේ දී අවසන් වීමට නියමිතය.