ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය අද (02දා) මෙල්බර්න් නගරයේ කොවිඩ්-19 අගුලු දැමීම තවත් සතියක් දීර්ඝ කළේ නවතම වෛරස් පැතිරීම පාලනය කිරීම වෙනුවෙනි.
කෙසේ වෙතත් ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවල සීමාවන් හෙට දිනයේ යම්දුරකට ලිහිල් කිරීමට පියවර ගෙන තිබුණේ, ආසාදිත පොකුරේ සම්ප්‍රේෂණ බහුල වශයෙන් මෙල්බර්න් නගරය කේන්ද්‍ර කරගෙන හමුවී ඇති නිසාවෙනි.
මාස ගණනාවකට පසුව දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ පළමු වැනි කොවිඩ්-19 ආසාදිත සිද්ධිය රජය විසින් වාර්තා කිරීමෙන් පසු මැයි 27දා මෙම අගුලු දැමීම බ්‍රහස්පතින්දා රාත්‍රියේ අවසන් කිරීමට නියමිතව තිබුණි. නමුදු මෙම නවතම තත්ත්වය සමග මෙල්බර්න් නගරය ආශ්‍රිතව එම ලොක්ඩවුන් තත්ත්වය දැන් ජුනි 10දා දක්වා දීර්ඝ කර තිබේ.
අද දිනයේ රජය විසින් දේශීය වශයෙන් සම්ප්‍රේෂණය වූ ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා කර ඇති අතර, ඒ අනුව මෙම සමස්ත ආසාදිත පොකුරු ආශ්‍රිතව මේ වනවිට කොවිඩ්-19 ආසාදිත සංඛ්‍යාව 60 ක් දක්වා ගොස් ඇත.
කඩිනම් අගුලු දැමීම්, කලාපීය දේශසීමා පාලනයන් සහ චලනය සඳහා දැඩි සීමාකිරීම් බොහෝදුරට සංවර්ධිත රටවල් අතර දක්නට ලැබුණු ඉහළ කොවිඩ්-19 ආසාදිත සිද්ධීන් සංඛ්‍යාවෙන් වෙන්ව, වඩාත් ප්රශස්ත ලෙස ආසාදන පාලනය කිරීමට ඔස්ට්‍රේලියාවට උදව් වී තිබේ.