ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්ත තුන තුළ කොවිඩ්-19 ආසාදිතයන් තවදුරටත් දේශීයව වාර්තා වන පසුබිමක, ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම පාලනය කිරීම සඳහා බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව අද (08දා) මෙම ප්‍රාන්ත තුනෙහි නිව් සවුත් වේල්ස් හි පමණක් ආසාදිතයන් 262ක් වාර්තා කළ අතර, එය සෙනසුරාදා දුටු ආසාදන අගය වන 319ට වඩා තරමක් අඩු අගයකි. මෙම ප්‍රාන්තයේ සිඩ්නි ප්‍රදේශයේ මිලියන 5කට අධික ජනතාවක් දැනටමත් සති හයක් පුරා දැඩි අගුලු දැමීමක සිටින පසුබිමකත් මෙම ආසාදන වාර්තා වී තිබේ.
නිව් සවුත් වේල්සි හි මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් ජනතාවට පැවසුවේ, "නීතිරීති, සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැර යන්න"
එම ප්‍රාන්තයේ වයස අවුරුදු 80ක් වූ කාන්තාවක් වෛරසය ආසාදනය වී එක් රැයකින් මියගොස් ඇති අතර, මේ වනවිට පැතිර යන මුළු මරණ සංඛ්‍යාව 28ක් දක්වා ඉහළ ගොස් තිබේ.
නිව් සවුත් වේල්ස් හි පුද්ගලයින් 362දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 58දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ සිටිති. දැඩි සත්කාර ඒකකයේ සිටි පුද්ගලයින්ගෙන් 54 දෙනෙකුම එන්නත් ලබාගෙන නොමැති අය බවද කියයි.
අසල්වැසි වික්ටෝරියා ප්‍රාන්තය විසින් මේ සතිය මුලදී දින 7ක දැඩි අගුලු දැමීමක් සිදුකළ බැවින්, දේශීයව වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 11ක් විය.