ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයේ වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ්-19 පොකුරක් දින තුනක් තුළ ආසාදිතයන් 15 දෙනෙකු දක්වා වර්ධනය වී ඇති බවත්, එම ආසාදිතයින්ගෙන් සමහරක් ජනාකීර්ණ ස්ථාන වෙත ගොස් ඇති නිසා ඉදිරි පැය 24 විශේෂයෙන් තීරණාත්මක බව බලධාරීන් අනතුරු අඟවයි.
පසුගිය ඉරිදා ඕස්ට්‍රේලියානු පාපන්දු ලීග් තරගයක් නැරඹීමට සහභාගී වූ පුද්ගලයින් 23,400ක් අතර ආසාදිත පුද්ගලයෙක් සිට ඇති අතර, නිලධාරීන් නියෝග කර ඇත්තේ දහස් ගණනක් ක්‍රීඩා ලෝලීන්ට කොවිඩ්-19 පරීක්ෂණයක් සිදුකර ස්වයං හුදකලාවකට යන ලෙසිනි.
එමෙන්ම ආසාදිතයන් ගැවසී ඇති ස්ථාන අතර පබ්, කැෆේ සහ සුපිරි වෙළෙඳ සැල්ද පවතින බව සඳහන් වෙයි.
ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ කියා සිටියේ මෙල්බර්න් අගනුවරට තවත් සංචරණ සීමා කිරීම සිදු නොවනු ඇතැයි යන්න තමාට දැන්ම පැවසිය නොහැකි බවයි.
"මෙම සිද්ධීන් අතර සම්බන්ධතා පැවතීම හොඳ දෙයක්. නමුත් අපි ආසාදිත සංඛ්‍යා හා නිරාවරණය වී ඇති ස්ථාන පිළිබඳව ඉතා සැලකිලිමත්ව සිටිනවා" වැඩබලන මහ ඇවතිවරයා පැවසීය.
ඒ අනුව එලැඹෙන ජුනි 04දා දක්වා මිලියන 5ක ජනතාවක් වෙසෙන මෙල්බර්න් නගරයේ අවන්හල්, හෝටල් සහ වෙනත් ගෘහස්ථ ස්ථානවල මුඛ ආවරණ අනිවාර්ය කර ඇති අතර රැස්වීම්වලට සහභාගී විය හැකි පුද්ගලයන් සීමා කර තිබේ.
මෙසේ දැනට වාර්තා වී ඇති ආසාදිතයන් 15දෙනාගෙන් 6දෙනෙකුම අද (26දා) අලුතින් වාර්තා වී ඇත.
ආසාදිත පුද්ගලයින්ගේ සමීප සම්බන්ධතා 301ක් බලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, මේ වනවිට 80 දෙනෙකු කොවිඩ්-19 පරීක්ෂණවලින් සෘණාත්මක ප්‍රතිඵල ලබා දී ඇති බව පවසා තිබේ.
එසේම නිරෝධායනය සම්පූර්ණ කළ විදේශීය සංචාරකයෙකුගෙන් සොයාගත් ඉන්දියානු වෛරස ප්‍රභේදයක් මෙම පොකුරෙන් සොයාගෙන ඇතත් එය පුළුල් ප්‍රජාව තුළට ව්‍යාප්ත වූයේ කෙසේදැයි නිලධාරීන් සොයා ගෙන නොමැත.
ඔස්ට්‍රේලියාව මුල සිටම ක්‍රියාත්මක කළ වේගවත් සම්බන්ධතා සොයා ගැනීම, දේශීය වසා දැමීම් සහ දැඩි සමාජ දුරස්ථ නීති රීති අනෙකුත් සංවර්ධිත රටවල් හා සසඳන විට එහි කොවිඩ්-19 සංඛ්‍යා සාපේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට උපකාරී වී තිබේ.
වසංගතය ආරම්භ වූ දා සිට මේ දක්වා වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් සහ මරණ 910ක් පමණි.
කොවිඩ්-19 ආසාදිත රැල්ලක් පසුගිය වසරේ අගභාගයේදී වික්ටෝරියා ප්‍රාන්තයට බලපෑ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් සමස්ත රෝගීන්ගෙන් 70%ක් සහ ඔස්ට්‍රේලියාවේ මරණවලින් 90%ක්ම ඒ ආශ්‍රිතව සිදුවී ඇත. එම තත්ත්වය පාලනය කර ගත හැකි වූයේ දීර්ඝ හා දැඩි ලොක්ඩවුන් සීමාවන් පැනවීම නිසාය.