ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ්-19 වෛරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති දෙවැනි වැඩිම ජනගහනය සහිත වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය දිනයේ ආසාදිතයන් 11ක් වාර්තා කිරීමත් සමග වත්මන් ආසාදිත පොකුරු 51ක් දක්වා ඉහළ ගොස් තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය සිකුරාදා සිට දින හතක දැඩි අගුලු දැමීමකට ලක්වූයේ, මෙල්බර්න් හි මාස තුනක කාලයක් එකදු නව කොවිඩ්-19 ආසාදිතයෙකු හමු නොවූ වටපිටාවකය.
ඒ අනුව ගෙවීගිය දිනයේ පළමු පැය 12 තුළ නව අවස්ථා 5ක්ද, අනතුරුව ගෙවුණු පැය 12දී තවත් ආසාදිතයන් 6ක්ද ලෙස මෙම ආසාදිතයන් 11දෙනා හඳුනා ගැනුණු බව අද (31දා) මෙල්බර්න් නුවර පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී බලධාරීන් ප්‍රකාශ කළේය.
ඒ අනුව මුලින් ප්‍රකාශයට පත් කළ දින 7ක අගුලු දැමීම ඉන් ඔබ්බට දීර්ඝ කරන්නේද යන්න ආසාදන වැඩිවීම නිසා සිදුවිය හැකි බවද සඳහන් වෙයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ වැඩබලන මහ ඇමති ජේම්ස් මර්ලිනෝ වාර්තාකරුවන්ට පැවසුවේ, "අපට ඇති අභියෝගය ඉතා වැදගත් එකක්. මොකද, සම්බන්ධතා විශාල සංඛ්‍යාවක් සමග ආසාදන අවස්ථා කුඩා සංඛ්‍යාවක් පමණක් අපට දැනට හමුවී තිබෙනවා." යනුවෙනි.
ඒ අනුව තත්ත්වය ඇදහිය නොහැකි තරම් බරපතළ බවත්, ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි මර්ලිනෝ පැවසීය.
"මේ ආසාදිතයන් ඉස්මතුවීම හොඳ අතට හැරීමට පෙර නරක අතට හැරෙනු ඇති බව සෑම කෙනෙකුම පැහැදිලිව අවබෝධ කරගත යුතු වෙනවා." මර්ලිනෝ වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය කරගත් නවතම කොවිඩ්-19 ප්‍රභේදය මුල් වෛරසයට වඩා වැඩි බලපෑමක් ඇති කරන බව වෛද්‍ය නිලධාරීහු පවසති. මීට පෙර ප්‍රභේද පහක් හෝ හයක් පමණ ගත්විට ඒවා තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමට දින 5ක් හෝ 6ක් පමණ ගතවුවත්, ඉන්දියානු ප්‍රභේදය දිනකින් පමණ තවත් අයෙකුට සම්ප්‍රේෂණය විය හැකි බව ඔවුහු පවසති.
මේ මෙල්බර්න් හි වැඩිහිටි මධ්‍යස්ථානයේ කම්කරුවන් දෙදෙනෙකු සහ එක් නිවැසියෙකු ධනාත්මක බව පරීක්ෂා කිරීමෙන් පසු වයස්ගත සත්කාරක නිවාසවල විශාල සම්ප්‍රේෂණයක් සිදුවීමට ඇති ඉඩකඩ පිළිබඳව බලධාරීන් සැලකිලිමත් වන බවද සඳහන් විය.
පසුගිය වසරේ කොවිඩ්-19 රෝගයෙන් පෙලුණු වැඩිහිටි වික්ටෝරියානුවන් සිය ගණනක් නේවාසික වයස්ගත සත්කාරක නිවාසවලදී මිය ගියහ.
වසංගතය ආරම්භ වූදා සිට ඔස්ට්‍රේලියාවේ සිදු වූ මුළු මරණවලින් 90%ක්ම සිදුවී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේ වන අතර, වසංගතය විසින් 800කට අධික මරණ වාර්තා කළේය. කොවිඩ්-19 දෙවැනි රැල්ල මැඬපැවැත්වීම සඳහා වික්ටෝරියාව පසුගිය වසරේ ලෝකයේ දැඩි හා දීර්ඝතම අගුලු දැමීමද පැනවීය.
කෙසේ වෙතත් ඔස්ට්‍රේලියාවේ කොවිඩ්-19 ආසාදිත අංක සාපේක්ෂව අඩු මට්ටමක තබා ගැනීමට වේගවත් සම්බන්ධතා සොයා ගැනීම, හදිසි අගුලු දැමීම් සහ දැඩි සමාජ දුරස්ථ නීතිරීති හේතු වී ඇති අතර, මේ දක්වා එරටින් ආසාදිතයන් 22,275ක් සහ මරණ 910ක් වාර්තා වී තිබේ. වසංගතය සාර්ථකව හසුරුවා ගැනීම සම්බන්ධ කොවිඩ්-19 කාර්ය සාධන දර්ශකයේ ඉහළම 10 දෙනා අතරට ඔස්ට්‍රේලියාව දැනටමත් පත්ව සිටියි.