මෙම ගිම්හානයේදී ජපානයේ ඔලිම්පික් උළෙල පැවැත්වීම ගත් තීරණය සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් වනු ඇති බවත්, එරට රජයේ වසංගත පාලන ක්‍රමවේදයට දහයෙන් දෙකකට වඩා අගය කිරීමක් දිය නොහැකි බවත් ජපානයේ ප්‍රමුඛතම ඊ-වාණිජ්‍යය සමාගමක් වන රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරී හිරෝෂි මිකිටානි පවසයි.
මෙම ක්‍රීඩා උළෙල අවලංගු කරන ලෙස රජයට ඒත්තු ගැන්වීමට තමන් උත්සාහ කළ නමුත් මෙතෙක් එය සාර්ථක වී නොමැති බව ඔහු කියා සිටියේය.
"මේ මොහොතේ ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වන විශාල ජාත්‍යන්තර ඉසව්වක් පැවැත්වීම භයානකයි. එහි අවදානම ඉතා ඉහළයි. මෙය පැවැත්වීමෙන් සිදුවන හොඳ ඉතා කුඩායි. හානිය විශාලයි. ඉන්දියාව සහ බ්‍රසීලය ඇතුළු බොහෝ රටවල් තවමත් වසංගතය හමුවේ බොහෝ අරගලයක නිරත වෙමින් සිටින බව අපට පෙනෙනවා. තවම සැමරීමට කාලයක් පැමිණ නැහැ." මිකිටානි කියා සිටියේය.
ඔලිම්පික් උළෙල තවමත් අවලංගු කළ හැකිදැයි විශ්වාස කරන්නේ දැයි ඇසූ විට ඔහු පැවසුවේ, සියල්ල දැන්ම කළ හැකි බවත්, මෙවැනි දැවැන්ත තරගාවලියක් අතරතුර ප්‍රමාණවත් තරම් කොවිඩ්-19 පාලන ක්‍රියාමාර්ග ගැනීම දුෂ්කර කාර්යයක් බවත්ය.
ජපානයේ ඉතා මන්දගාමීව සිදුවන එන්නත්කරණය ගැනද අදහස් දැක්වූ මිකිටානි, "මේ අවුලෙන් මිදීමට ඇති එකම මාර්ගය එන්නතයි. අපි වේගවත් විය යුතුයි. නමුත් රජය දැන් යම් උත්සාහයක් දරමින් සිටින බව පෙනෙනවා" යැයි රකුටෙන් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් ටෝකියෝ ඔලිම්පික් හා පැරාලිම්පික් අවලංගු කරන ලෙස ජපානයේ වෛද්‍ය සංගමයක්ද රජයෙන් ඉල්ලීමක් කර තිබේ. ජපාන අගමැති යොෂිහිඩ් සුගා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීම සඳහා වෘත්තීය සමිති සාමාජිකයින් බ්‍රහස්පතින්දා ජපානයේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතටද පැමිණ තිබුණි.