රටේ දරුවන්ගේ යහපත වෙනුවෙන්, අනාගත ලෝක තත්ත්වයන්ට මුහුණදිය හැකි අයුරින් සමස්ත අධ්‍යාපන පද්ධතිය නව්‍යකරණයට ලක්කිරීම පිණිස සියලු පාර්ශව විසින් අලුතින් සිතා නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත්, එහිදී මතුවන ඕනෑම ගැටලුවකට විෂය භාර අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටිමට තමා සූදානම් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රුපියල් මිලියන සියයක මූල්‍ය ප්‍රතිපාදන සහිතව ජාතික අධ්‍යාපන ආයතනයේ අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත තෙමහල් නේවාසිකාර ගොඩනැගිල්ලට මුල්ගල තැබීම වෙනුවෙන් අද (28) මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පැවති උත්සවයට එක්වෙමිනි.
ශ්‍රී ලංකාවේ ලක්ෂ 45කට ආසන්න පාසල් දරුවන්ගේ අනාගතය රැඳී ඇත්තේ අධ්‍යාපන පද්ධතිය තුළ ඔවුන් වෙනුවෙන් ගන්නා තීන්දු තීරණ මතයි. එහිදී ගුරුවරුන් පුහුණු කිරීම, විෂයමාලා සංවර්ධනය, සහ අධ්‍යාපන ක්ෂේත්රයේ නව්‍යකරණයන් සඳහා උපයෝගී වන පර්යේෂණ කාර්යයන් මෙහෙයවීම ඇතුළු විශාල කාර්යභාරයක් පැවරී ඇත්තේ ජාතික අධ්‍යාපන ආයතනයට බවත් මෙම ක්‍රියාවලියේ දී ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව සහ ප්‍රකාශන දෙපාර්තමේන්තුව අතර මනා සම්බන්ධීකරණයක් පැවතිය යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
නුදුරේ දී ම පාසල් සිසුන් වෙත ටැබ් පරිගණක 97,000ක් ලබාදෙන බවත්, මේ වනවිටත් ඩිජිටල් පන්ති කාමර විශාල ප්‍රමාණයක් අලුතින් ආරම්භ කර ඇති බවත්, පැවසූ අමාත්‍යවරයා, දරුවන්ට නවීන පහසුකම් සමග නව දැනුම සමීප කරවීම වෙනුවෙන් අධ්‍යාපන පද්ධතිය තුළ එවැනි නව හඳුන්වාදීම් සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසක් ගැනීමට හැකි වූ බව ද සඳහන් කළේය.
පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරමින් ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නංවන ලද බව ද, භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් සංවර්ධනය වෙනුවෙන් ද මෑතකාලීනව විශාල කාර්යභාරයක් සිදුකළ බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
විධිමත්ව ගුරුතුලනයක් නොවීම නිසා ගුරු හිඟය හා අතිරික්තය අතර විශාල පරතරයක් පැවති බවත්, එය හඳුනාගනිමින් සැබැවින්ම පැවති 20,000ක් වන ගුරු හිඟය පියවීමට පියවර ගත් බවත්, විද්‍යාපීඨවල බඳවා ගැනීම්වල පසුගිය කාලයේ පැවති ප්‍රමාදයක් වළක්වමින් එකවර සිසුන් 8,000ක් බඳවාගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව විද්‍යාපීඨවල භෞතික හා මානව සම්පත් පහසුකම් සංවර්ධනයට ද පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවට ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
කෂිනි හපුආරච්චි