මෑත සතිවලදී උතුරු කොරියානු හැකර්වරු බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කරගත්, නව කොරෝනා වෛරස එන්නත් සංවර්ධකයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කර ඇති බවට සැක කෙරෙයි.
රොයිටර් පුවත් සේවයට අනුව, උතුරු කොරියානු හැකර්වරු LinkedIn සහ WhatsApp හි රැකියා සඳහා බඳවා ගන්නන් ලෙස පෙනී සිටිමින්, ඇස්ට්‍රාසෙනෙකා කාර්ය මණ්ඩලයට (විශේෂයෙන් වෛරස පර්යේෂණයන්හි නියුතු අය ඇතුළුව) ව්‍යාජ රැකියා අවස්ථා ලබාදීමට ඉදිරිපත්ව තිබේ.
එහිදී මෙම සැකකටයුතු හැකර්වරු රුසියානු ඊමේල් ලිපින භාවිත කරමින් ලිපි පවා යොමුකර තිබේ. රැකියා විස්තරයක් ලෙස සැළකෙන මෙම තොරතුරු හා ඒවායෙහි වූ කේතයන්, ඊට ගොදුරු වූවන්ගේ පරිගණක වෙත පිවිසීමට හැකර්වරුන්ට ප්‍රවේශය ලබාගැනීම සඳහා නිර්මාණය වූ ඒවා බව රොයිටර් වාර්තා කරයි. කෙසේ වෙතත් ඔවුන්ට සැලකිය යුතු සාර්ථකත්වයක් ලබාගැනීමට හැකිවී නොමැති බවද රොයිටර් වාර්තා පෙන්වා දෙයි.
ඇස්ට්‍රාසෙනෙකා මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇති අතර, කොරෝනා වෛරස එන්නතක් නිපදවීම සඳහා ඖෂධ නිෂ්පාදකයා සමඟ එක්ව කටයුතු කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ විශ්වවිද්‍යාලය එහි ආරක්ෂාව සහතික කිරීම සඳහා එක්සත් රාජධානියේ ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරන බවය.
"ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ජාතික සයිබර් ආරක්ෂණ මධ්‍යස්ථානය සමග සමීපව කටයුතු කරමින් අපගේ COVID-19 පර්යේෂණයට හැකි උපරිම සයිබර් ආරක්ෂාව ඇති බව සහතික කිරීම සඳහා ක්‍රියා කරනවා" යනුවෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය පවසයි.