ඉන්දියාවේ නවදිල්ලි නගරයේ රෝහලක කොවිඩ්-19 ආසාදිතව බරපතළ තත්ත්වයේ සිටි රෝගීන් 20 දෙනෙකු ඔක්සිජන් නොමැතිව ජීවිතක්ෂයට පත්වූ බව ජයපූර් ගෝල්ඩන් රෝහලේ වෛද්‍ය අධ්යක්ෂ වෛද්‍ය ඩී. කේ. බලූජා පවසයි.
"මේ ඛේදවාචකය සිදුවුණේ සිකුරාදා රාත්‍රියේ. අප සතුව තිබූ සියල්ලු ඔක්සිජන් අවසන් වී තිබුණා. නියමිත වේලාවට ඔක්සිජන් සපයා තිබුණේ නැහැ. එය සවස 5.00ට පැමිණිය යුතු නමුත්, ඔක්සිජන් පැමිණෙන විට මධ්‍යම රාත්‍රිය පමණ වුණා. මේ වනවිටත් බරපතළ ලෙස රෝගාතුර වූ පුද්ගලයන්ට ඔක්සිජන් අවශ්‍යව තිබුණා" බලූජා පැවසීය.
ඔහු සඳහන් කළේ රෝහල වැඩිපුර ඔක්සිජන් ලබාගැනීම සඳහා දැඩි පරිශ්රමයක නිරත වූ බවයි. "අපට දැන් ඉතිරිව ඇත්තේ මිනිත්තු 15-20කට ප්‍රමාණවත් ඔක්සිජන් පමණයි. තවත් ටැංකියක් ලබා ගැනීමට පැය කිහිපයක් ගතවේවි." බලූජා පවතින තත්ත්වයේ බරපතළකම විස්තර කළේය. පසුගිය සති දෙක තුළ දිල්ලියේ කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින් රෝහල් දැඩි ඔක්සිජන් හිඟයකට මුහුණ දී සිටියි.
මෙම තත්ත්වයට මුහුණදීම සඳහා ජර්මනියේ සහ ප්‍රංශයේ සිට ජංගම ඔක්සිජන් උත්පාදන යන්ත්‍ර 23ක් ගුවන් මගින් ඉන්දියාව වෙත ගෙනඑන බවද කියයි.
මේ අතර ඉන්දියාවේ ඛේදවාචකය තවත් උග්‍ර කරමින් මුම්බායි නගරයට උතුරින් පිහිටි විරාර්හි රෝහලක දැඩි සත්කාර ඒකකයේ ඇති වූ ගින්නකින් සිකුරාදා අලුයම අවම වශයෙන් කොවිඩ්-19 රෝගීන් 15 දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
"වායුසමීකරණ යන්ත්‍රයෙන් හදිසියේම ගිනි පුපුරු වැටී ඇති අතර මිනිත්තු දෙකක් ඇතුළත එය ගිනිගෙන තිබෙනවා" යැයි විජේ වල්ලබ් කොවිඩ් සත්කාර රෝහලේ වෛද්‍ය දිලිප් ෂා පැවසීය.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාසික් දිස්ත්‍රික්කයේ සකීර් හුසේන් රෝහලේ හදිසි ඔක්සිජන් හිඟයක් හේතුවෙන් ඔක්සිජන් නොමැතිව කොවිඩ්-19 රෝගීන් 24 දෙනෙකු මියගොස් දින දෙකකට පසුව මෙම ගින්න හටගෙන තිබුණි.