එළවලු මිල ඉහළ යෑම නිසා හා එළවලු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.
ලංකාවේ බොහෝ ප්‍රදේශවල කැරට්, ගෝවා, බෝංචි, අමුමිරිස්, මාළුමිරිස් ඇතුළු බොහෝ එළවලු කිලෝවක තොග මිල රුපියල් එකසිය පනහක්, දෙසීයක් අතර මුදලක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ නිසා එළවලු කිලෝවක සිල්ලර මිල ඉහළ ගොස් තිබෙන අතර, පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා සමහර ප්‍රදේශවල වගාවන් විනාශ වීම නිසා එළවලු හිඟයක්ද නිර්මාණය වී තිබෙන බවද වාර්තා වේ.
මේ පිළිබඳ “අද” සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳපොළ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පසුගිය දින කිහිපය තුළදී මැනිං වෙළෙඳපොළට හා ආර්ථික මධ්‍යස්ථානවලට එළවලු රැගත් ලොරි පැමිණීමේ අඩුවක් සිදුවූ බවයි.
මේ නිසා තොග මිල ඉහළ යෑමක් සිදුවූ බවත්, එහෙත් ඉදිරි දිනවලදී සාමාන්‍ය පරිදි එළවලු තොග ලැබීමට නියමිත බවත් ඔහු පවසා සිටියේය.
එළවලු තොග ලැබීමත් සමග එළවලු මිල සාමාන්‍ය තත්ත්වයට පත්වන බවත්, පසුගිය දිනවල පැවැති මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා ගොවිජනතාව සහභාගි වීම නිසා එළවලු ඵලදාව නෙළාගැනීමේ ප්‍රමාදයක් නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවට වාර්තා වන බවද හෙතෙම පවසා සිටියේය.
