ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබන්නන්ගේ රුධිර කැටි ගැසීම් පිළිබඳ ඉහළ යන අවදානමක් ඇති බවට සාක්ෂි නොමැති බවත්, දැනට එන්නත ලබාගෙන ඇති මිලියන ගණනක් පිරිස අතර ඉතා සුළු සිද්ධීන් කිහිපයක් පමණක් වාර්තා වන බවත් ඇස්ට්‍රාසෙනකා සමාගම සිය විශ්ලේෂණය ඉදිරිපත් කරමින් පවසයි.
ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් අයට රුධිර කැටිගැසීම් ඇතිවීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමු කරමින් මේ සතියේ දී රටවල් කිහිපයක් එය භාවිතය අත්හිටුවීමේ තීරණයන් සමග සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසා තිබේ.
"වාර්තා මිලියන 10කට වඩා වැඩි සංඛ්‍යාවක අපගේ ආරක්ෂිත දත්ත විශ්ලේෂණය කිරීමෙන් නිශ්චිත වයස් කාණ්ඩ, ස්ත්‍රී පුරුෂ භාවය, එන්නත් කාණ්ඩ හෝ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී ඇති ඕනෑම රටක ලේ කැටිගැසීම් ඇතිවීමේ අවදානමක් ඇති බවට සාක්ෂි නැහැ" ඇස්ට්‍රාසෙනෙකා නිවේදනයේ සඳහන් වෙයි. "ඇත්ත වශයෙන්ම, මේ වර්ගයේ සිදුවීම් නිරීක්ෂණය කරන ලද සංඛ්‍යාව සාමාන්‍ය මහජනතාව අතර අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස අඩුයි."
මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානයද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, එහි යෝග්‍යතාව අධ්‍යයනය කරමින් සිටින අතර, දැනට සිදුකෙරෙන ඕනෑම පරීක්ෂණයකට පූර්ණ සහාය ලබාදෙන බව ඇස්ට්‍රාසෙනෙකා සමාගමද වැඩිදුරටත් පවසා තිබේ.