කොවිඩ්-19 මර්දන එන්නත් ද්විත්ව මාත්‍රාවක් ලබාගැනීම ඉන්දියාවේ ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ වේගයෙන් පැතිරෙන ප්‍රභේදයට වඩාත් ඵලදායී බවත්, එය බ්‍රිතාන්‍යයේදී ප්‍රථම වරට හඳුනාගත් ප්‍රභේදයටද ඵලදායී බවත් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ මෙම දත්ත ඉතා වැදගත් වන අතර, එමගින් ලබන මාසයේදී එරට තුළ තවත් කොවිඩ්-19 සීමාවන් ඉවත් කිරීමට රජයට අවස්ථාව සලසනු ඇතැයි කියා තමා විශ්වාස කරන බවය.
එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතය විසින් කරනලද අධ්‍යයනයකින් හෙළි වූයේ කොවිඩ්-19 මර්දන එන්නතෙහි දෙවැනි මාත්‍රාවෙන් සති දෙකකට පසුව ඉන්දීය B.1.6172 ප්‍රභේදයේ රෝග ලක්ෂණවලට එරෙහිව ෆයිසර්-බයෝඑන්ටෙක් එන්නත 88%ක් ඵලදායීතාවක් පෙන්වන බවය.
එසේ එන්නත් මාත්‍රා දෙකම ලබාගැනීම බ්‍රිතාන්‍යයේ මුලින්ම පැතිර ගිය කොවිඩ්-19 ප්‍රභේදය වන B.117 ට එරෙහිව 93%ක ඵලදායීතාවක් පෙන්වන බවද එම අධ්‍යයනය පෙන්වා දුන්නේය.
මීට අමතරව ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත මාත්‍රා දෙකක් ඉන්දියානු ප්‍රභේදයේ රෝග ලක්ෂණවලට එරෙහිව 60%ක් ඵලදායී වූ අතර, බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහිව 66%ක ඵලදායීතාවක් ඇති බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පැවසීය.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද සෙසු එන්නත් සම්බන්ධයෙන් ඔවුන් අදාළ අධ්‍යයනය සිදුකර නොතිබුණේ, දැනට බ්‍රිතාන්‍ය තුළ භාවිත වන එන්නත් සඳහා පමණක් ප්රමුඛත්ව ලබාදෙමිනි.
"මේ දත්ත මගින් පෙන්නුම් කරන්නේ එන්නත් මාත්‍රා දෙකකට පසුව ඉන්දියානු ප්‍රභේදයට එරෙහිව ඵලදායී ලෙස ආරක්ෂාවක් ක්‍රියාත්මක වන බවයි." සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පැවසීය.
ඒ අනුව බ්‍රිතාන්‍ය රජයේ සැලසුම් යටතේ ඉතිරිව ඇති කොවිඩ්-19 සීමාවන් ඉවත් කිරීම ජුනි 21 සිට සිදු කිරීමට නියමිතය.
එනමුදු බ්‍රිතාන්‍යය මේ දක්වා යුරෝපයේ වේගවත්ම එන්නත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති නමුත් ඉන්දියාවේ ප්‍රථම වරට සොයාගත් ප්‍රභේදය ව්‍යාප්ත වීමෙන් පසුව ඔවුන් නව අභියෝගයකට මුහුණ දී සිටියේය.
සෙනසුරාදා ප්‍රකාශයට පත් කරනලද දත්තවලට අනුව බ්‍රිතාන්‍යයේ වාර්තා වූ නව කොවිඩ්-19 ආසාදිතයන් මැයි 22දා දක්වා වූ දින 7ක් තුළ 10.5%කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට සහ සායනික වශයෙන් අවදානමට ලක්වූවන්ට ඉතිරිව ඇති දෙවැනි එන්නත් මාත්‍රාව වේගවත් කිරීමට අගමැති බොරිස් ජොන්සන් මේ මාසයේදී නියෝග කළේය.
එම අධ්‍යයනයේදී හෙළි වූ තවත් කරුණක් වූයේ සති තුනකට පසු B.1.6172 ඉන්දියානු ප්‍රභේදයේ රෝග ලක්ෂණවලට එරෙහිව එන්නත් දෙකේම පළමු මාත්‍රාව පමණක් 33%ක් ඵලදායී බවත්, එය B.117 බ්‍රිතාන්‍ය ප්‍රභේදයට එරෙහි 50%ක් ඵලදායී බවත්ය.
මේ නිසා එන්නත මාත්‍රාවන් දෙකම ලබා ගැනීම අතිශයින්ම වැදගත් බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් වැඩිදුරටත් පවසා සිටියේය.