කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත ලබාගත් පුද්ගලයන්ට පවා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වීමේ ඉඩක් පවතින බැවින්, ඔවුන්ටද එන්නත් ලබා නොගත්තවුන්ට මෙන් පහසුවෙන් වෛරසය සම්ප්‍රේෂණය කළ හැකි බවට මූලික සලකුණු තිබෙන බව එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පවසයි.
එන්නත් ලබාගත් ඩෙල්ටා ආසාදිත පුද්ගලයින්ට පවා වෙනත් ප්‍රභේද මෙන් නොව, පහසුවෙන් එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකි බවට පසුගිය සතියේදී එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පළකළ අදහස සමගද මෙය බැඳී යයි.
කොරෝනා වසංගතයෙන් මේ වනවිට මිලියන 4.4කට වඩා වැඩි සංඛ්‍යාවක් මියගොස් ඇති අතර, ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය ගෝලීය වශයෙන් ප්රමුඛ ප්රමුඛ කොරෝනා වෛරස වර්ගය බවට දැන් පත්ව ඇත.
විශේෂයෙන් මාත්‍රා දෙකකින් ඩෙල්ටාවේ බරපතළ රෝගාබාධ හා මරණය ඇති කිරීමට එරෙහිව එන්නත් මගින් හොඳ ආරක්ෂාවක් ලබාදෙන බව පෙන්වාදී ඇතත්, එන්නත් කළ පුද්ගලයන්ට එය වෙනත් අයට සම්ප්‍රේෂණය කළ හැකිද යන්න පිළිබඳ දත්ත තවමත් පවතින්නේ අඩුවෙනි.
"සමහර මූලික සොයා ගැනීම්වලින් පෙන්නුම් කෙරෙන්නේ, දැනටමත් එන්නත් කර ඇති ඩෙල්ටා ආසාදනයට ගොදුරු වූවන්ගේ වෛරස් මට්ටම් එන්නත් නොකළ පුද්ගලයන් තුළ පවතින මට්ටමට සමාන විය හැකි බවයි" එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
"එනම් එන්නත් ලබාගත් අයගෙන්ද මෙම වෛරසය වෙනත් අයට බෝවීම සඳහා බලපෑම් ඇති කළ හැකියි. කෙසේ වෙතත්, මෙය පූර්ව ගවේෂණාත්මක විශ්ලේෂණයක් බව සඳහන් කළ යුතුයි. මෙය එසේ දැයි තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් ඉලක්ක ගත අධ්‍යයනයන් අවශ්‍ය වෙනවා." එම ආයතනය අවධාරණය කළේය.
එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පැවසුවේ ජූලි 19දා සිට රෝහල් ගතව වූ ඩෙල්ටා ආසාදිතයන්ගෙන් 55.1%ක් එන්නත් ලබා නොගත් අයවලුන් බවයි. කෙසේ වෙතත් 34.9%කට කොවිඩ්-19 එන්නත් මාත්‍රා දෙකක් ලැබී ඇති පිරිස බවද කියයි.
මේ වනවිට බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 75%කට ආසන්න සංඛ්‍යාවකට එන්නත් මාත්‍රාවන් දෙකක් ලැබී ඇති පසුබිමකත් එංගලන්ත මහජන සෞඛ්‍ය ආයතනය පැවසුවේ, "ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක් එන්නත් ලබාගෙන තිබියදීත්, රෝහල් ගතව සිටින පුද්ගලයන්ගේ ඉහළ ප්‍රතිශතයක් අපට පෙනෙනවා" යනුවෙනි.
ඒ අනුව කොවිඩ්-19 එන්නත ලබාගැනීමට අමතරව මෙතෙක් කලක් කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට ගනු ලැබූ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අන් කවරදාකටත් වඩා ඩෙල්ටා ප්‍රභේදය හමුවේ දැඩිව පිළිපැදීමේ අවශ්‍යතාව වසංගත රෝග විද්‍යාඥයන් අවධාරණය කරන අතර, ආරක්ෂිත අයුරින් මුඛ ආවරණයක් පැලඳ සිටීම, නිතර දෑත් පිරිසිදුව තබා ගැනීම මෙන්ම, හැකි සෑම අවස්ථාවකම ජනාකීර්ණ අවස්ථා මගහැර සමාජ දුරස්ථභාවය උපරිම ආරක්ෂා කිරීමේ වැදගත්කම පෙන්වා දෙයි.