කොවිඩ්-19 එන්නත්කරණය ඉහළ කලාපවල ක්‍රමයෙන් සීමා ලිහිල් කරමින් රටවල් විවෘත කරන අතරතුර වෛද්‍ය විශේෂඥයන් පවසන්නේ, වසරක් තුළ තවත් අමතර එන්නත් මාත්‍රාවක් ලබාදීම (බූස්ටර් මාත්‍රාවක්) අවශ්‍ය විය හැකි බවයි.
ෆයිසර් හි ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා සහ එක්සත් ජනපද ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසන පරිදි, මුල් වටයේ දෙවැනි එන්නත ලබාගෙන මාස 8ක් හෝ 12ක් වැනි කෙටි කාලයක් තුළදී දැනටමත් එන්නත් ලබා ඇති පුද්ගලයින් සඳහා බූස්ටර් කොවිඩ්-19 එන්නතක් ලබාදිය යුතුය.
"කාර්යක්ෂමතාව සැලකීමේදී එන්නත්වල කල්පැවැත්ම අවම වශයෙන් මාස හයක්වත් පවතින බව අප දන්නවා. බොහෝ දුරට සැලකිය යුතු තරම් වැඩි කාලයක්. එහෙත් මුල් වටයේ එන්නත් ලබා ගැනීමෙන් පසු වසරක් හෝ ඊට ආසන්න කාලයක් තුළ අපට බූස්ටර් එන්නතක් අවශ්‍ය වනු ඇතැයි මා සිතනවා." වෛද්‍ය ෆවුසි පවසයි.
එක්සත් ජනපද ජනගහනයෙන් දළ වශයෙන් 47.9%කට අවම වශයෙන් එක් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් බදාදා මුල වනවිට ලැබී ඇති බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන දත්ත පෙන්වා දෙයි. එහිදී ජනගහනයෙන් 37.8%ක් පමණ සම්පූර්ණ එන්නත් මාත්‍රාවන් ලබාගෙන ඇත.
වෛද්‍ය ෆවුසි පෙන්වා දෙන්නේ වෛරසයේ විවිධ ප්රභේදයන් ඉස්මතු වන බැවින්, එක් එක් ප්‍රභේදයට වෙන වෙනම එන්නත් වෙනුවට වෛරසයේ විකෘති නොවන ප්‍රභේදයට ගැලපෙන බූස්ටර් එන්නතක් සැලසුම් කිරීමේ වැදගත්කමයි.