නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර පැවති සාකච්ඡාවේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබාගැනීමට අදාළව සිංගප්පූරුවේදී නඩු පැවරීමට එකගත්වයක් පළ නොවූ බවට පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ප්‍රකාශයට පත්විය.
එම අධීක්ෂණ කාරක සභාව එහි සභාපති අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම කරුණු අණාවරණය විය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර වැනි ආපදාවකදී ක්‍රියා කළයුතු ආකාරය දැක්වෙන පැහැදිළි නිශ්චිත යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන ලෙසද සභාපතිවරයා මෙහිදී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට දැනුම් දුන්නේය.
මෙවැනි ආපදාවකදී ඊට මුහුණ දීමේ වගකීම සහිත ප්‍රධාන ආයතනය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය බැවින්, කඩිනමින් ප්‍රතිචාර දැක්වීම හා වන්දි ලබා ගැනීම සදහා අවශ්‍ය නෛතික ශක්තිය ලැබෙන පරිදි සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම කඩිනමින් සිදුකරන ලෙසත්, එහි ප්‍රගතිය මාසයකින් නැවත කමිටුවට වාර්තා කරන ලෙසත් සභාපතිවරයා උපදෙස් දුන්නේය.
එසේම මෙවැනි ආපදා අවස්ථාවකදී වන්දි මුදල් ලබා ගන්නා තුරු අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සපයා ගැනීම සදහා වෙනම අරමුදලක් පිහිටුවීමේ අවශ්‍යතාව ද මෙහිදී සාකච්ඡා විය. මෙරටට පැමිණෙන නෞකාවලින් ලබා ගන්නා සුළු බදු මුදලකින් මෙම අරමුදල තර කළ හැකි බවද මෙහිදී කමිටුව පෙන්වා දුන්නේය.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ පරිසර හා අනෙකුත් හානිය සහ අදාළ වන්දි මුදල් ලබා ගැනීමේ කටයුතු පිළිබද විමර්ශනය සදහා පැවති මෙම පරිසර කටයුතු පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, සාගර නීතිය පිළිබද ප්‍රවීණයන්, විද්වතුන්, පරිසර සංවිධාන නියෝජිතයන් ඇතුළු පිරිසක් කැඳවා තිබිණි.
මෙම කාරක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයක් මත නීතිපතිවරයා සහ නීති ක්ෂේත්රයේ ප්‍රවීණයන් අතර පසුගියදා පැවති රැස්වීමේදී මෙම අනතුරට අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම පිළිබද කිසිදු එකගතාවකට නොපැමිණි බව මෙහිදී අදහස් දක්වමින් සාගර නීතිය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර මහතා පැවසීය.
එහිදී බහුතරයක් නීති විශාරදයින් පවසා සිටියේ මෙරට නඩුව ගොනු කිරීම වාසි සහගත බවත් ඒ මහතා පැවසීය. එසේම මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත්කළ නීති ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කමිටු වාර්තාවේද සදහන් වූයේ මෙරට නඩු පැවරීම යෝග්‍ය බවත් එ් මහතා පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම කරුණු කාරණා සහ තත්ත්වයන් පිළිබදව ජනාධිපතිවරයා හමුවී එතුමාව දැනුවත් කිරීම වඩා යෝග්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.
එසේම මෙවැනි ආපදා අවස්ථාවලදී මෙරටට ලබා ගත හැකි උපරිම වන්දී ප්‍රමාණය ලබා ගැනීම සදහා ක්‍රියාකර ඇති ආකාරයේ ගැටලු පවතින බවද මෙහිදී පැමිණ සිටි විද්වතුන් පෙන්වා දුන්හ. මීට පෙර සිදුවූ නිව් ඩයමන්ඩ් නෞකා අනතුරට අදාළව නඩු පැවරීම ප්‍රමාද වූ බවත් නඩු පැවරීමට අදාළ කාල සීමාව අවසන් වීමට දින දෙකකට පෙර නඩු පැවරීම සිදුවූ බවත් මහාචාර්ය රුචිරා කුමාරතුංග මහත්මිය පැවසුවාය. එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දෙදෙනෙක් විදෙස්ගතව සිටි බැවින් අදාළ ලිපිගොනු ලබා ගැනීම පවා අපහසු වූ බවත් නැවත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් ලිපිගොනු ලබා ගෙන නඩු පැවරීමට සිදුවූ බවත් ඇය පැවසුවාය.
මෙරට සමුද්‍රීය ආරක්ෂණ කටයුතු සහ වන්දී ලබා ගැනීමේ කටයුතු වඩාත් විධිමත් ලෙස සිදු කළ යුතු බැවින් සියලු අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කොට නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කිරීමත්, අවශ්‍ය බලතල ලැබෙන පරිදි කඩිනමින් පනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාවත් කමිටුව අවධාරණය කරන ලදී.