අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද (16) දහවල් අත්අඩංගුවට ගත් සී. කොන්සෝටියම් ලංකා සමාගමේ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.
අර්ජුන හෙට්ටිආරච්චි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරවීමෙන් පසුව ඔහු අත්අඩංගුවට ගෙන කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.
අනතුරුව සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු සැකකරුගේ ළඟම ඥාතියෙකු නොවිය යුතු බවට ද නියෝග කළේය.
සැකකරුගේ විදේශ ගමන් බලපත්රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියෝග කළ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා මෙන්ම ගුවන් තොටුපොළවල් හා සියලු වරායන් වෙත දැනුම්දෙන ලෙසත් නියෝග කර තිබුණි.
සැකකරු වෙත අලුතින් විදේශ ගමන් බලපත්රයක් නිකුත් කිරීමෙන් වළකින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයා වෙත නියෝග කරනු ලැබීය.