උතුරට ප්‍රභාකරන්වත් දකුණට හිට්ලර්වත් අවශ්‍ය නොවන බව කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි. 'දියවර නෑයෝ' ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට රාජාංගනයේදී එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිකුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
'දියවර නෑයෝ' ජාතික වැඩසටහනේ ප්‍රථම වැඩසටහන ඊයේ (07දා) ආරම්භ වූ අතර එය එළඹෙන 15දා දක්වා රාජාංගනය ගොවි ව්‍යාපාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.
"උතුරට ප්රභාකරන් කෙනෙකුවත්, දකුණට හිට්ලර් කෙනෙකුවත් හරියන්නේ නෑ. මේ රට පාලනය කළ යුත්තේ රටට ආදරය කරන, හොරකම් කරන්නේ නැති මනුස්සකම තියෙන ප්‍රජාත්‍රන්තවාදයට ගරු කරන පුද්ගලයෙකුයි.
විජයකලා මන්ත්‍රීවරිය පසුගියදා ත්‍රස්තවාදය මෙරට තුළ නැවත ඇති විය යුතුයි යන බවට සිදු කළ ප්‍රකාශයට අපි එක හෙළාම විරුද්ධයි. උතුරු ප්‍රදේශයට කොතරම් සංවර්ධනයක් කරලා තියෙනවාද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කැමතියි ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න.
අවුරුදු 35ක් තුළ සංවර්ධනය නොවූ බව ඇත්ත. හැබැයි යුද්ධය අවසන් වුණාට පස්සේ, ඒ කාලසීමාව තුළ, උතුරේ වෙලා තියෙන සංවර්ධනයයි, නිදහසින් පස්සේ දකුණේ සිදු වෙලා තියෙන සංවර්ධනයයි ගත්තාම අපි ඉතාම ආඩම්බරයෙන් කියනවා මේ වන විට අපි උතුර දියුණු කරන්න විශාල වැඩ කොටසක් කරලා තියෙනවා කියලා."
