ඉදිරියේදී ජනාධිපතිවරණයක් හෝ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වෙන්නේද එම මැතිවරණයන් වෙනුවෙන් උතුරේ වැසියන් සහය ලබාදෙන පක්ෂයන් තොරාගත යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරෙන අත්පත්‍රිකා බෙදා දිමේ වැඩසටහනක් මේ දින වල උතුරු පළාතේ දෙමළ ජනතා සන්ධානය නොහොත් ටී.එම්.කේ. පක්ෂය විසින් ආරම්භ කොට ඇත.
මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන වෙනුවෙන් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ,පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා සහ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂනායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියි.
සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් ටී.එම්.කේ. පක්ෂය විසින් මෙම අත්පත්‍රිකා ලබා දීමේ වැඩසටහන සංවිධානය කොට ඇති අතර උතුරේ ස්ථාන කිහිපයකම අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කොට සිටින්නේ ඉදිරියේදී කුමන මැතිවරණයක් පැමිණියද දෙමළ ජනතාවගේ අනාගතය ගැන සිතා සහය ලබා දෙන ලෙසටය.
ජනාධිපතිවරණය හා පළාත්පාලන මැතිවරණය දෙකම තැබිය යුතු කාලය එලඹ ඇති හෙයින් කුමන මැතිවරණයක් එලඹියද දෙමළ ජනතාවට යහපතක් සිදු කරන මෙතෙක් විසඳුමක් නොලැබුණු යුද්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් නොවීම, ඉඩම් ගැටලු ඇතුළු උතුරු නැගෙනහිර ජනතාවගේ මෙම ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට සහතික වන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සහය ලබා දීමට කල්පනාකාරී වන ලෙසට අදාළ අත්පත්‍රිකා මගින් උතුරේ ජනතාව දැනුවත් කොට ඇත.