අඹේවෙල හා පට්ටිපොළ දුම්රිය ස්ථාන අතරදී මගී දුම්රියක් පීළී පැනීමකට ලක්වීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා එල්ලව පැවැති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු යළි අද (21) අලුයම සිට යතා තත්ත්වයට පත් කොට ඇතැයි දුම්රිය නිලධාරීහු පවසති.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු දුම්රියක නැරඹුම් මැදිරිය ඊයේ (20) සවස මෙසේ පීළී පැනීමකට ලක්ව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු සදහා බාධා එල්ලව පැවැතිණි.
නැරඹුම් මැදිරිය දුම්රිය මාර්ගයෙන් පිටතට පැන පස් කන්දක වැදී නැවැතීම නිසා සිදුවන්නට ගිය විශාල අනතුරක් වැළැකී ගිය බව දුම්රියේ ගමන් ගත් මගීහු පවසති.
මෙම අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවත් දුම්රියේ ගමන්ගත් සියලු මගීන් දුම්රියේ නැරඹුම් මැදිරිය ඉවත් කොට දුම්රියෙන්ම පිටත් කර හැරීමට කටයුතු කරන ලද බව දුම්රිය නිලධාරීයෙකු කීය.
