මඩකලපුව කුඩුම්බිමලෛහි හෙක්ටයාර් 68,250 ඉඩමක් උක් වගා කිරීමට චීන රජයේ සමාගමකට ලබාදීම කිසිසේත් අනුමත කළ නොහැකි බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිනිත්තම්බි යෝගේශ්වරන් මහතා පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් ඊයේ (18දා) මඩකලපුව දිසා ලේකම් එම්. උදයකුමාර් මහතාට යවන ලද ලිපියක මේ බව සඳහන් කර ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරලෛපත්තු දකුණ (කිරාන්) එරාවූර් පත්තුව (සෙන්කලඩ්) යන ප්‍රදේශවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මූලික කර ගනිමින් කුදඩුම්බිමලෛ ප්‍රදේශයට යාබදව පිහිටි හෙක්ටෙයාර් 68,250 ඉඩමක් වත්මන් රජය විමසීමකින් තොරව චීන රජයේ සමාගමකට උක් වගා කිරීමට ලබාදීමට රහසිගත ගිවිසුමක් අත්සන් කර ඇති බවට තමන්ට දැනගන්නට ලැබුණු බව එම ලිපියෙහි සඳහන්ය.
උක් වගාව යනු භූමියට හානිකරන, අනාගතයේ ජනතාව දුගීභාවයට පත් කරන්නක් බවත් මීට ඉහත සිංහල ප්‍රදේශවල උක් වගාව කර නතර කිරීමෙන් පසු නැවත දෙමළ ජනතාවගේ නිජ භූමියට ගෙන එන්නේ දෙමළ ජනතාවගේ අනාගතයද විනාශය කිරීමේ අරමුණින් බවද එහි වැඩිදුරටත් සඳහන් කොට තිබේ.
ඒ නිසා මෙම ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡා කිරීමට ඉදිරියේදී පැවැත්වෙන දිස්ත්‍රික් සංවර්ධන කමිටු න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලෙසද මන්ත්‍රීවරයා විසින් දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.
මෙහි පිටපත් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම, නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස්, ඩී.ඩි. ධර්මදාස , සෙන්කලඩ් ප්‍රාදේශීය ලේකම් එන්. විල්වරට්නම් යන මහත්වරුන්ටද යවා තිබේ.

මඩකලපුව - ජවුෆර් ඛාන්