කොවිඩ්-19 පිළිබඳ පළමු සැකසහිත ආසාදිතයා වාර්තා වීමෙන් පසු උතුරු කොරියානු නායක කිම්ජොන් උන් හදිසි රැස්වීමක් කැඳවා ඇති බව එරට කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය (KCNA) පවසයි.
මීට වසර තුනකට පෙර දකුණු කොරියාවට පළාගොස් ඇති අයෙකු මෙලෙස සැකසහිත ආසාදිතයෙකු ලෙස පසුගිය ජූලි 19දා කේසොං නගරය හරහා නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවට ඇතුළු වී ඇති බවද කියයි.
ඒ අනුව රෝගියාට වෛද්‍ය පරීක්ෂාවෙන් පසු නිරෝධායනය කර ඇති අතර, ඔහු සමග මෑතකදී සම්බන්ධ වූ සියලු දෙනාද නිරෝධායනය කර ඇති බව පුවත් ඒජන්සිය පවසයි.
එමෙන්ම කිම්ජොන් උන් කෙසොං අවට ප්‍රදේශ සඳහා හුදකලා කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ඇති අතර එක් එක් අදාළ ප්‍රදේශයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කළ බවද සඳහන් වෙයි.
මේ අතර උතුරු කොරියාවේ මධ්‍යම ආරක්ෂක කොමිෂන් සභාව විසින් මෙම රෝගියා නීතිවිරෝධී ලෙස රටට ඇතුළු කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන් විමර්ශනය කර ඔවුන්ද දැඩි දඬුවම් නියම කරනු ඇති බවද පුවත් ඒජන්සිය වැඩිදුරටත් පවසයි.