ඉන්දියාවේ ගෙවීගිය පැය 24 තුළ කොවිඩ්-19 ආසාදිතයන් 127,510ක් වාර්තා වී ඇති අතර, එය ගෙවුණු දින 54ක් තුළ වාර්තා වූ අවම අගය බවට පත්ව ඇත්තේ දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහත වැටෙමිනි.
මෙම නව ආසාදිතයන් සංඛ්‍යාව සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 28,175,044ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර, කොවිඩ්-19 සමස්ත මරණ සංඛ්‍යාව 331,895ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට අලුතින් දෛනික මරණ 2,795ක් එක්ව තිබේ. එම අගය පසුගිය දින 35ක් තුළ වාර්තා වූ අඩුම දෛනික මරණ අගය වන අතර, සක්‍රීය ආසාදිතයන් සංඛ්‍යාව දින 43කට පසු ලක්ෂ 20කට වඩා අඩුවෙන් වාර්තා වී ඇති බව ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය අද (01දා) උදෑසන යාවත්කාලීන කරන ලද දත්ත පෙන්වා දෙයි.
ඉන්දියාවේ කොවිඩ්-19 අනාවරණය කර ගැනීම සඳහා මෙතෙක් සිදු කරන ලද සමස්ත PCR පරීක්ෂණ 346,792,257ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ ඊයේ (31දා) සිදුකළ පරීක්ෂණ 1,925,374ක අගයද සමගිනි. මේ තත්ත්වය තුළ එරට දෛනික ධනාත්මක අනුපාතය 6.62%ක් දක්වා පහළ ගොස් තිබේ.
ඒ අනුව අඛණ්ඩව දින 8ක් පුරා එය 10%කටත් වඩා අඩු මට්ටමක පවතින බව අමාත්‍යාංශය පවසයි. සතිපතා ධනාත්මක අනුපාතය 8.64%ක් දක්වා අඩු වී තිබේ.
ඉන්දියාවේ සමස්ත ආසාදනවලින් 6.73%කින් සමන්විත සක්‍රීය ආසාදිතයන් සංඛ්‍යාව පෙර සඳහන් කළ පරිදි ලක්ෂ 20කට වඩා අඩුවී 18,95,520ක් ලෙස වාර්තා වන අතර, ජාතික වශයෙන් කොවිඩ්-19 ප්‍රකෘතිමත් වීමේ අනුපාතය 92.09%ක් දක්වා වර්ධනය වී තිබේ.
විශේෂයෙන්ම ගෙවුණු පැය 24ක කාලයක් තුළ කොවිඩ්-19 ආසාදිතයන්ගේ 130,572 ක ශුද්ධ පහත වැටීමක් වාර්තා වී තිබේ.
ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 2020 අගෝස්තු 7 වැනි දින ලක්ෂ 20, අගෝස්තු 23 වැනි දින ලක්ෂ 30, සැප්තැම්බර් 5 වැනි දින ලක්ෂ 40 සහ සැප්තැම්බර් 16 වැනි දින ලක්ෂ 50 ඉක්මවා ගොස් තිබුණි. එය සැප්තැම්බර් 28 වැනි දින ලක්ෂ 60 පසු කර, ඔක්තෝබර් 11 වැනි දින ලක්ෂ 70 ඉක්මවා ගියේය. ඔක්තෝබර් 29 වැනි දින ලක්ෂ 80ක්, නොවැම්බර් 20 වැනි දින ලක්ෂ 90ක් සහ දෙසැම්බර් 19දා කෝටියක සීමාව පසු කළේය. ඉන්දියාව 2021 මැයි 4දා කෝටි 2ක දරුණු සන්ධිස්ථානය පසු කළේය.
සමස්තයක් ලෙස ඉන්දියාවේ දීර්ඝ කාලීනව ලොක්ඩවුන් සීමා අඛණ්ඩව පැනවීම සහ එන්නත්කරණය ඒ සමගම වේගවත් කිරීමද ආසාදන අඩුවීමට හේතු වී ඇති බව විශේෂඥයෝ පවසති.