කොවිඩ්-19 වෛරස් වසංගතයෙන් සහ ඒ හරහා දින 21ක රට වසා දැමීමෙන් වඩාත් පීඩාවට පත් වූවන්ට උපකාර කිරීම සඳහා ඉන්දීය රජය ඇ.ඩො.බිලියන 22.6ක් වටිනා සහන පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ වනවිට ඉන්දියාව වසාදමා පැය 36ක් ගතවී ඇති අතර, එරට මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් අද (26දා) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ, "දැන් අපි සහන පැකේජයක් ඉදිරිපත් කර තිබෙනවා. එය දුප්පතුන්ගේ හා දුක් විඳින කම්කරුවන්ගේ සහ ක්ෂණික උපකාර අවශ්‍ය අයගේ සුභසාධන අවශ්‍යතා පිළිබඳව වහාම සපුරාලීම සඳහායි" යනුවෙනි.
සහන පැකේජයට වෛද්‍ය වෘත්තිකයන්, හෙද ඇතුළු සෞඛ්‍ය සේවකයන් සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයන් වැනි වෛරසය පිටුදැකීමට පෙරමුණේ සේවය කරන අයට එක් පුද්ගලයෙකුට ඩොලර් 66,400ක වෛද්‍ය රක්ෂණ ආවරණයක් ඇතුළත් වේ. මෙම පියවර මගින් මිලියන 2ක පමණ ජනතාවක් ආවරණය කරනු ඇත.
රටේ ජනගහනයෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් හෙවත්, මිලියන 800ක ජනතාවකට රජය විසින් සෑම මාසයකම සහල් හෝ තිරිඟු කිලෝ ග්‍රෑම් 5ක් ඉදිරි මාස තුන සඳහා නොමිලේ ලබාදෙනු ඇත.
“කිසිවෙකු කුසගින්නෙන් පෙළෙනවාට අපි කැමති නැහැ” සීතාරාමන් පැවසීය.
ගොවීන්, ඉදිකිරීම් කම්කරුවන්, වැන්දඹුවන් සහ ආබාධිතයන් සඳහා වේගවත් සහනාධාර සහ ප්රතිලාභ මෙන්ම අවම වැටුප වැඩි කිරීමද ප්‍රකාශයට පත් කරන ලද අනෙකුත් ක්‍රියාමාර්ග වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බදාදා මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් සමස්ත ඉන්දියාවම වසා දැමීමට නියෝග කළේය.
අත්‍යවශ්‍ය සේවා පමණක් රටේ ප්‍රාන්ත සහ ප්‍රදේශ 36ක් පුරා ක්‍රියාත්මක වන අතර, ජලය, විදුලිය, සෞඛ්‍ය සේවා, ගිනිනිවීම් සේවා, සිල්ලර හා තොග වෙළෙඳ සහ නාගරික සේවා මෙයට ඇතුළත්ය.