ඉන්දියාවේ ගම්බද කොවිඩ්-19 පැතිරීම වේගවත් වීම හමුවේ වෛද්‍ය අධ්‍යාපනයක් නොමැති හිටපු රෝහල් සේවකයන් බලපත්‍ර රහිත කුඩා සායනයන් පවත්වාගෙන යමින්, වැල් හෝ ගොමමැටි ඇඳන්වල වැතිර සිටින හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ ඔවුන්ගේ ඔක්සිජන් මට්ටම පරීක්ෂා කිරීම දැන් එරට සුලභ දසුනකි.
කොරෝනා දෙවැනි රැල්ලකින් ඉන්දියාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇති පසුබිමක, එය විශාල නගරවල පවා සෞඛ්‍ය පද්ධතිය යටපත් කරද්දී, එරට ගම්බද ප්‍රදේශවලට මෙවැනි පිහිටක් හැර වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයේ නැත.
සාමාන්‍ය තත්ත්වය යටතේද එරට ගම්බද ප්‍රදේශවල වෛද්‍ය පහසුකම් ඉතා දුර්වල මට්ටමක පවතින අතර වෛද්‍යවරුන් සහ හෙදියන් සිටින්නේ අඩුවෙනි. එනම් බොහෝ සායන පවත්වාගෙන යනු ලබන්නේ පුහුණුවක් නොමැති අය විසිනි.
දුර්වල සෞඛ්‍ය යටිතල පහසුකම් සහ පරීක්ෂණ නොමැතිකම යන්නෙන් අදහස් කරන්නේ බොහෝ රෝගීන්ට කොවිඩ්-19 ආසාදනය වී ඇත්ද, නැතිනම් ඔවුන්ට සැබෑ ලෙසම ඇත්තේ සෙම්ප්රතිශ්යාවක්ද යන්න සොයා ගැනීමද දුෂ්කර වී ඇති බවය.
නවදිල්ලි අගනුවර සිට කිලෝමීටර 60ක් දුරින් පිහිටි පර්සෝල් ගම්මානයේ අශෝක් කියා සිටියේ තම ප්‍රදේශයේ ජනතාව තම නිවෙස්වලින් ඉවත් වීමට දැන් බියවී සිටින බවය. කොරෝනා වෛරසයෙන් මෑත දිනවල අසල්වාසීන් 15 දෙනෙකු පමණ මියගොස් ඇති බවට ඔහු සැක කරයි.
52 හැවිරිදි හිටපු රෝහල් සහායකයකු විසින් පවත්වාගෙන යනු ලබන සායනයට උණ වැලඳී ඇති රෝගියෙකු සමග අශෝක් පැමිණ සිටි අතර, ඔහුගේ රෝගියා සිටියේ වැල් ඇඳක් මතය. මෙම සායනයේ ගොඩනැගිල්ලක් පසෙක පාවිච්චි කළ සේලයින් බෝතල් ගොඩගසා තිබෙනු දැකිය හැකිය.
"උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා ඇති රෝගීන් පසුගිය මාස දෙක තුළ වැඩි වී තිබෙනවා" යැයි මෙහි ප්‍රතිකාර කරන හිටපු රෝහල් සහායකයා පැවසීය. ඔහු 1993 සිට තම සායනයෙන් රෝගීන්ට උදව් කරමින් සිටියද බලධාරීන්ගේ තහංචියක් වැටේ යැයි බියෙන් ඔහු අනන්‍යතාව හෙළි නොකළේය.
"අසල ගම් හයක හෝ හතක ජනතාව මාව පෞද්ගලිකව හඳුනන අතර මාව විශ්වාස කරනවා." ඔහු කීවේය.
මෙහි පැමිණි ඇතැම් රෝගීන් මුඛ ආවරණ පැලඳ සිටියද, බොහෝ දෙනෙකු ඔවුන්ගේ මුහුණු තම ඇඳුමේ කොටසකින්ම වසාගෙන සිටියේ වසංගතය පිලිබඳ ඔවුන්ගේ නොදැනුවත්කම මෙන්ම, ඔවුන්ගේ දරිද්‍රතාවයද මොනවාට ප්‍රදර්ශනය කරමිනි.
30 හැවිරිදි බුබ්ලි උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සායනයට පැමිණියේය.
"නෑ, ඇයට කොවිඩ් වැලඳිලා නැහැ, එය උණක් විතරයි" බුබ්ලිගේ සැමියා පැවසීය. "අපි කොවිඩ්වලට බයයි. නමුත් විශාල රෝහලකට යාම ඊටත් වඩාත් භයානකයි."
ඉන්දියාවේ කොවිඩ්-19 තත්ත්වය හමුවේ පවතින සැබෑ යථාර්ථය මේ ආකාරයෙන් විසඳෙන විට එරට වසංගතය පාලනය කිරීම දැඩි අර්බුදයකට ලක්විය හැකි බවට තවදුරටත් අනතුරු ඇඟවීම් සිදුවෙයි.