ඉන්දියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු විසින් මෙරටෙහි මෙහෙයවනු ලබන මත්කුඩු ජාවාරමක ප්රධාන සැකකරුවෙකු මත්කුඩු තොගයක්ද සමඟින් ඉරිදා (16) අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත්ව තිබේ.
අදාළ සැකකරු දැනට මහාධිකරණයේ විභාගවන මත්කුඩු සම්බන්ධ නඩුවක සැකකරුවෙකු වන අතර, ඊට අමතරව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වල ඔහුට එරෙහිව තවත් අපරාධ චෝදනා කිහිපයක්ම පවතින බවත් විමර්ශන වලදී හෙළිව ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.
සිවුදරු පියෙකු වන මෙම සැකකරුගේ බිරිය විදේශගතව සිටින බව පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරු සමඟ මත්කුඩු ග්රෑම් 20යි මිලිග්රෑම් 600ක්ද, උල් පිහියක්ද, රුපියල් 23,000කට ආසන්න මුදල්ද පොලිස් භාරයට ගෙන ඇත.
මෙම මත්කුඩු ජාවාරමෙහි මහ මොළකරු ඉන්දියාවේ අපරාධ කල්ලි සාමාජිකයෙකු බවත්, ඔහු හරහා මෙරට කාන්තාවකට ලැබෙන මත්කුඩු මෙම පුද්ගලයා හරහා බෙදාහැරීම සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණ වලදී හෙළිව ඇති අතර, මෙම සැකකරු විසින් සාතන්මාවත්ත, ඔරුගොඩවත්ත, මාළිගාවත්ත බෝධිරාජ පෙදෙස ආදී කොළඹ අවට ප්රදේශයන්හි මහා පරිමාණයෙන් මෙම මත්කුඩු බෙදාහැරීම සිදුකර තිබේ.
සැකකරු විසින් දිනකට මත්කුඩු ග්රෑම් 30-40ක් අතර ප්රමාණයක් සීමිත පැය ගණනක් ඇතුළතදී බෙදා අවසන් කරන බවත්, ඒ අනුව ලක්ෂ 2-3ක වටිනාකමකින් යුත් මත්කුඩු මෙලෙස දිනක් තුළදී ඔහු අළෙවිකරන බවත් විමර්ශන වලදී හෙළිව ඇත.
මාළිගාවත්ත පොලිසිය විසින් මින්පෙර මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් කළ ප්රශ්න කිරීම් වලදී ලද තොරතුරු වලට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් ලද තොරතුරු වලට අනුව මෙම ජාවාරමේ නිරත සැකකරුට මත්කුඩු ලබාදෙන කාන්තාව සොයා මේ වනවිට පොලිසිය විසින් පුළුල් මෙහෙයුමක් දියත් කර ඇත.
ඉංගිරිය - නිමාලි කහවල