ඉන්දීය ධීවරයින් මෙරට මුහුදු සීමා උල්ලංඝණය කිරීම සම්බන්ධව සහ ඉන්දු -ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරුන්ගේ විශේෂ අවධානය යොමු වූ බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද කියා සිටියේය.
මේ බව කියා සිටියේ අද (28) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ශ්‍රී ලංකා අගමැති සහ ඉන්දීය අගමැති අතර සිදු කළ විශේෂ ද්විපාර්ශවිය සාකච්ඡාව සම්බන්ධව තොරතුරු දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.
පසුගිය 26 දා ශ්‍රී ලංකා අගමැති මහින්ද රාජපක්ෂ සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී අතර පැවති ද්විපාර්ශවිය සාකච්ඡාවේ දී මෙම ධිවර ගැටළුව සම්බන්ධයෙන් විශේෂයෙන් සාකච්ඡා කළ අතර එහි දී ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ආකාරයෙන් මෙරට මුහුදු සිමාවේ සිය ධීවර කටයුතු සිදුකරන ආකාරයේ වීඩියෝ කිහිපයක් ද ශ්‍රී ලංකා අගමැතිවරයා විසින් ඉන්දීය අගමැතිවරයාට පෙන්වීමට කටයුතු කළ බවත්, එය ඉන්දීය අගමැතිවරයාගේ විශේෂ අවධානයට යොමු වූ බවත් මෙහි දී ඩග්ලස් දේවානන්ද ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව, ඉන්දියානු ධිවරයින් විසින් නිතිවිරෝධීව සිදු කරන ධිවර කටයුතු හේතුවෙන් සිදු කරන ලද විවිධ ක්‍රියාකාරකම් නිසා ලංකා මුහුදු සිමාව තුළ පවතින සම්පත් වලට ද දැඩි හානි සිදු වන අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී තමිල්නාඩු ප්‍රාන්තයේ මහා ඇමතිවරයා සමඟ ද සාකච්ඡාවක් පවත්වා මෙම ගැටළුවට විසඳුමක් ලබා දීම වෙනුවෙන් ද ඉන්දීය අගමැතිවරයාගේ අවධානය යොමු වූ බව ද ඩග්ලස් දේවානන්ද මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.