මෙවර අතරමග නතර වුණු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ටිම් සීෆර්ට්, කොවිඩ්-19 වෛරසය තමාට ආසාදනය වූ බව දැනගැනීමෙන් ඇති වූ ඒ බියමුසු හැඟීම නවසීලන්ත මාධ්‍ය හා බෙදාගත්තේ කඳුලු සලමිනි.
අයි.පී.එල්. තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග සිටි ටිම් සීෆර්ට්ට, කොවිඩ්-19 ධනාත්මක පරීක්ෂණ ප්‍රතිඵලය ලැබීමත් සමග ආපසු සිය රට බලා පැමිණි සෙසු ක්‍රීඩකයන් සමග ඉන්දියාවෙන් බැහැර වීමට අවස්ථාව නොලැබුණි.
කෙසේ වෙතත් මේ වනවිට නවසීලන්තයට ගොස් සිටින සීෆර්ට් පැවසුවේ ඔහුගේ ධනාත්මක පරීක්ෂණය ගැන කණ්ඩායම් නිලධාරියෙකු පැවසූ විට තමාගේ හදවත නැවතුණාක් වැනි හැඟීමක් ඇති වූ බවයි.
"ලෝකයම මොහොතකට නතර වුණා." ඔහු නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි හෝටල් නිරෝධායනයේදී වීඩියෝ ඇමතුමකින් වාර්තාකරුවන්ට පැවසීය. "මට ඇත්තටම ඊළඟට කුමක් කළ යුතු දැයි සිතා ගත නොහැකි වුණා. ඒ වගේම ඒක තමයි, බය හිතෙන කොටස."
"මේ වනවිට (ඉන්දියාවේ) වසංගතය අතරතුර බොහෝ නරක දේ ගැන අසා තිබුණා. දැන් එය මට සිදුවනු ඇතැයි මට සිතුවා." සීෆර්ට් මෙම වචන පෙළ කියන විට හැඟුම්බර විය. තවදුරටත් කතාව දිගටම කරෙගන යෑමට ඔහුට තව මොහොතක් අවශ්‍ය විය.
"සැම ප්‍රවෘත්තියකම වගේ ගියේ (ඉන්දියාවේ) ඔක්සිජන් නොමැති පුවතයි. දැන් ඔබටත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට වේදැයි ඔබ දන්නේ නැහැ. ඒක හරියට කොවිඩ්-19 යනු කුමක්ද? ඔබ එයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න පිළිබඳ සම්පූර්ණ නොදැනුවත්භාවයක් හා සමාන හැඟීමකුයි."
ජෛව ආරක්ෂිත බුබුලක් ආකාරයෙන් පවත්වනු ලැබූ අයි.පී.එල් හි විවිධ කණ්ඩායම්වල ක්‍රීඩකයන් සහ කාර්ය මණ්ඩලය කොවිඩ්-19 ආසාදන හා සම්බන්ධ වීමෙන් පසුව මැයි 4දා දින නියමයක් නොමැතිවම තරගාවලිය අත්හිටවනු ලැබීය.
එහිදී සීෆර්ට් අත්විඳ තිබුණේ මෘදු රෝග ලක්ෂණ පමණක් වුවත්, ඉන්දියාවේ ඒ වනවිට පැවති තත්ත්වය සමග ආ ආතතිය ඔහුට අත්විඳින්නට සිදුවූ විශාලතම අභියෝගය විය.
කෙසේ වෙතත් ඔක්තෝබර් මාසයේ පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානය සඳහා නැවත ඉන්දියාවට පැමිණීම මෙම අත්දැකීමෙන් තමාව වළක්වා නොමැති බව සීෆර්ට් පැවසීය.
නමුදු කොරෝනා වෛරසයේ විනාශකාරී දෙවැනි රැල්ල ජය ගැනීමට ඉන්දියාවට නොහැකි වුවහොත් එම තරඟාවලිය පැවැත්වීම සැකසහිත විය හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.